දුම්වැටි ඇසුරුම්වල 60% දක්වා රූපමය අවවාද දාන්න අවසරයි!

දුම්වැටි ඇසුරුම්වල 60% දක්වා රූපමය අවවාද දාන්න අවසරයි!

May 12, 2014   11:40 am

දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද සියයට 80 දක්වා ඇතුළත් කිරීමට එරෙහිව පැවැති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එම ඇසුරුම්වල සියයට 50 - 60ක පමණ කොටසක රූපමය අවවාද ඇතුළත් කිරීමට අභියාචානාධිකරණය අද (12) අවසර ලබා දී තිබේ.

දුම්වැටි ඇසුරුම්වල සියයට 80ක පමණ කොටසක රූපමය අවවාද ඇතුළත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙන එන ලද යෝජනාවට එරෙහිව දුම්කොළ සමාගම විසින් අදාළ තීරණය වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තිබුණි.

ඒ අනූව මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩුවක තීන්දුවේදී අදාළ තීරණයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යවරයාට අතුරුතහනම් නියෝගයක් පැනවිණ.

සිගරට් දවටනවල 80%ක් ආවරණය වන පරිදි රූපමය අවවාද සහිතව දුම්වැටි ඇසුරුම් වෙළඳපලට නිකුත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලද රෙගුලාසිය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ සැප්තැම්බර් 20 දා මෙම අතුරුතහනම් නියෝගය ලබාදුන් අතර එය 2014 ජනවාරී මස 22 දක්වා බලපැවැත්වෙන පරිදි පනවන ලදී.

ඒ 2012 වසරේදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිගරට් පැකැට්ටුවල රූපමය අවවාද ඇතුළත් කළ යුතු බවට රෙගුලාසියට එරෙහිව දුම්කොළ සමාගම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.

අමාත්‍යවරයා විසින් අදාළ රෙගුලාසිය පැනවීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට කාලය ප්‍රමාණවත් නොවන බව හා එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බවට කරුණු දක්වමින් දුම්කොළ සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණ.

කෙසේ වුවද දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද අඩංගු කළ යුතු බවට නියෝග සහිත අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය ජනවාරී මස ((24) වැනිදා ආණ්ඩු පක්ෂයේ සභා නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙම ගැසට් නිවේදනය මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කළ බව වාර්තා විය.

අදාළ ගැසට් නිවේදනය මගින් සෑම සිගරට් පැකට්ටුවකම රූපමය අවවාද මුද්‍රණය කළ යුතු බව පැවසිණ.

ඒ අනූව යළිත් වරක් දුම්කොළ සමාගම අභියාචනාධිකරණයට ගොස් අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් පසුගිය පෙබරවාරී මස 11 දා විභාගයට ගත් අවස්ථාවේදී එහි තීන්දුව අද (12) ලබා‍දෙන බවට තීරණය විය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.