සිගරට් පැකැට්ටුවට රූපමය අවවාද බෑ - ඇමතිට එරෙහිව අතුරුතහනමක්

සිගරට් පැකැට්ටුවට රූපමය අවවාද බෑ - ඇමතිට එරෙහිව අතුරුතහනමක්

September 20, 2013   04:47 pm

සිගරට් දවටනවල 80%ක් ආවරණය වන පරිදි රූපමය අවවාද සහිතව වෙළඳපලට නිකුත් කළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පනවන ලද රෙගුලාසිය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරුතහනම් නියෝගක් ලබාදී තිබේ.

2012 වසරේදී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිගරට් පැකැට්ටුවල රූපමය අවවාද ඇතුළත් කළ යුතු බවට රෙගුලාසියක් ගෙන එන ලද අතර ඊට එරෙහිව දුම්කොළ සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබිණි.

අදාළ පෙත්සම අද (20) සලීම් මර්ෂුක්,සත්‍යා හෙට්ටිගේ සහ ඊවා වනසුන්දර යන විනිසුරුවරුන් හමුවේ සලකා බැලීමෙන් පසු බහුතර තීන්දුවක් ලෙස මෙම අතුරුතහනම් නියෝගය නිකුත් කෙරිණි.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර විනිසුරුවරිය මෙම තීන්දුවට පක්ෂග්‍රාහී නොවුණු බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කියා සිටියි.

අමාත්‍යවරයා විසින් අදාළ රෙගුලාසිය පැනවීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට කාලය ප්‍රමාණවත් නොවන බව හා එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බවට කරුණු දක්වමින් දුම්කොළ සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවක් වූ මෙම අතුරුතහනම් නියෝගය 2014 ජනවාරි මස 22 වන දින දක්වා බලපැවැත්වෙන බවත්, එදිනට අදාළ නඩුව යළි සලකා බලන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය විය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.