නඩු තීන්දුව ගැන සමස්ත ජනතාවගේ අවධානය යොමු වෙලා

නඩු තීන්දුව ගැන සමස්ත ජනතාවගේ අවධානය යොමු වෙලා

May 11, 2014   11:56 am

දුම්වැටි දවටනවල රූපමය අවවාද ඇතුළත් කිරීමේ නඩු තීන්දුව දෙස රටේ සමස්ත ජනතාවගේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දුම්වැටි දවටනවල 80% ක් ආවරණය වන පරිදි මුඛ පිළිකා රූප සටහන් සහිත රූපමය අවවාද ඇතුළත් කිරීමේ ගැසට් පත්‍රයට දුම්කොළ කර්මාන්තකරුවන් විසින් නඩු පවරනු ලැබුණි.

අදාළ නඩුවේ තීන්දුව හෙට(12) දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදීමට නියමිතය.

කෙසේ වෙතත් දුම්වැටි දවටනවල රූපමය අවවාද ඇතුළත් කිරීමේ ගැසට් පත්‍රය පසුගියදා පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත වුණි.

දුම්වැටි භාවිතය හේතුවෙන් මෙරට දිනකට පුද්ගලයින් 65 දෙනෙකු මිය යන අතර වසරකට පුද්ගලයින් 21,000ක් මරණයට පත්වන බව වාර්තා වෙයි.

පිළිකා රෝගීන්ගෙන් 60%ක් එම රෝගය සඳහා ගොදුරු වී ඇත්තේ ද දුම්වැටි භාවිතයෙන් බව අනාවරණය වී තිබේ.

දුම්වැටි උවදුරෙන් මෙරට ජනතාව මුදාගැනීම සඳහා හෙට(12) දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව දෙස රටේ සමස්ත ජනතාව බලා සිටින බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.