මාලකට හා රෙහාන්ට අධිකරණයේ පෙනී සිටින්නයැයි නියෝග

September 20, 2012   02:06 pm

හමුදා මේජර්වරයෙකුට පහරදුන් බවට කියන සිදුවීමට අදාළව මහජන කටයුතු හා මහජන සබඳතා අමාත්‍ය මර්වින් සිල්වා මහ‍තාගේ පුත් මාලක සිල්වා, රෙහාන් විජේරත්න සහ පහර කෑ බව කියන හමුදා නිලධාරියාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය කර ඇතැයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කරයි.

යුධ හමුදා බුද්ධි අංශ මේජර්වරයෙකුට පහරදුන් බව කියන සිදුවීමට අදාළව පසුගිය 17 වනදා මාලක සිල්වා, ඇතුළු පිරිසක් කොම්පඤ්ඤවීදිය පොලීසියට භාර විය.

ඒ 9 වන දින අදාළ හමුදා මේජර්වරයාට මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න යන අය පහර දුන් බවට චෝදනා එල්ල වී තිබීම නිසාවෙනි.

ඒ අනුව භාර වු පුද්ගලයින් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි.

එහිදී රෙහාන් විජේරත්න ඇතුළු 7 දෙනෙකු 24 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මාධ්‍ය හමුවකට සහභාගී වූ මර්වින් සිල්වා අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ මේ දිනවල තමන් හා තම පුතා නිසාවෙන් පුවත් පත් විකිණෙන බවකි.

කෙසේ වෙතත් පසුගිය 18 වනදා මාලක සිල්වා හා රෙහාන් විජේරත්න යන අය තමාට පහර නොදුන් බව ප්‍රකාශ කරමින් අදාළ සිද්ධියට සම්බන්ධ යැයි කියන මේජර්වරයා නීතිඥයෙකු මාර්ගයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබිණි.

ඒ අනුව මෙම ගැටලුව සමථයකට පත්කර ගැනීමට දෙපාර්ශවය අතර එකඟතාවක් ඇති කර ගැනීමට අදහස් කරන බව ද අදාළ පෙත්සම මගින් අධිකරණය හමුවට දැනුම් දුන් බව වාර්තා විය.

මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීම අනවශ්‍ය බව මාලක සිල්වා සහ රෙහාන් විජේරත්න යන අය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අද (20) අධිකරණය හමුවේ කියා සිටියේය.