පත්තර විකිණෙන්නේ මමයි පුතයි නිසයි

September 19, 2012   11:42 am

මේ දිනවල පුවත්පත් විකිණෙන්නේ තමන් සහ තම පුත් මාලක සිල්වා නිසා බව මහජන කටයුතු හා මහජන සබඳතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

කැලෑ පත්තර හා මඩ වෙබ් අඩවි විසින් දිගින් දිගටම තමාට සහ තම පුතාට පහර එල්ල කළද තමන් බිය නොවන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

තම පුත්‍රයා විසින් කාන්තාවන් ගැබ් ගන්වා නැතිනම් හා අශීලාචාර ලෙස හැසිරී නැතිනම් කිසිවෙකුට පහරදුන්නාට ඇති වැරැද්ද කුමක්දැයි සිල්වා මහතා අවධාරණය කරයි.

තරුණ කොල්ලන්‍‍ කලහකාරී ලෙස හැසිරීම ස්වභාවික බවත්,එය මහ ඉහළින් ප්‍රචාරයක් දිය යුතු තරම් දෙයක් නොවන බවත් මහජන කටයුතු හා මහජන සබඳතා අමාත්‍යවරයා පෙන්වාදෙයි.

අද (18)කෙරවලපිටිය ශ්‍රී සම්බෝධිරාම විහාරස්ථානයට "ආගමික ස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන"යටතේ රු.50,000 ක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවෙන් ඉක්බිතිව මාධ්‍යයට කරුණු දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා "සසුනට අරුණ" වැඩසටහන යටතේ සතියකට වරක් ආගමික ස්ථානයකට රු. 50,000 ක් පරිත්‍යාග කොට සතියක් පුරා ඒ ගැන මාධ්‍යයට කියන නමුත් තමන් දිනකට පන්සල් තිස් ගණනකට රු.50,000 බැගින් දුන්නද ඒ ගැන කතා කරන්නට කිසිවෙකු නොමැති බව ඔහු චෝදනා කළේය.

තමන් ද්ව්‍ය ලෝක සැප සම්පත්තිය සඳහා‍ කටයුතු කරමින් සිටින බවත්,මේ වන විටත් ඒ සඳහා කටයුතු සම්පූර්ණ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒනිසාම තමන් හෝ තම පුතු විසින් කාගේ හෝ හිස පැලීමෙන් පමණක් එකී කටයුත්තට බාධාවක් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

රාජපක්ෂ පරපුර හැරුණු විට මේ රටට සේවය කරන එකම අමාත්‍යවරයා තමන් බවත්,ඉදිරි මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රීක්කයෙන් වැඩිම මනාප ලබාගන්නේ තමන් බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.