
බහින්බස් වීමක් දුරදිග ගොස් තියුණු ආයුධවලින් පහරදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කළ තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා මරණ දණ්ඩනය නියම කර තිබේ.
මෙලෙස මරණ දඬුවම නියම වී ඇත්තේ තරුණ අඹුසැමි යුවළකට සහ විත්තිකාරියගේ බාල සහෝදරයාටය.
පසුගිය 2017 වසරේ දෙසැම්බර් මස 11 වැනි දින වැල්ලම්පිටිය මීතොටමුල්ල සී.ජී.ආර් වත්ත ප්‍රදේශයේදී රුචිර ලක්මාල් පෙරේරා නමැති 35 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට චෝදනා ගොනුව තිබුණි.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අනාවරණය වී ඇත්තේ විත්තිකරුවන් පදිංචි නිවස අසලම පදිංචිකරුවෙකු මෙන්ම තුන්වැනි විත්තිකාරියගේ ඥාතියෙකුද වන මරණකරු එකී ඝාතනයට දින කිහිපයකට පෙර තුන්වැනි විත්තිකාරියට පහරදීමක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමෙන් අනතුරුව නිවසට පැමිණෙමින් සිටියදී අදාළ ඝාතනය සිදුව ඇතැයි පැමිණිල්ලේ සාක්ෂි මගින් අනාවරණය වී ඇති බවය.
ඒ අනුව සිදුකර ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව මරණකරුගේ ශරීරයේ බරපතළ කැපුම් තුවාල 21ක් ඇති බවත් හිසට සහ ගෙලට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් එකී මරණ සිදුව ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබුණි.
තම අධිකරණය හමුවේ ඉදිරිපත් වූ ඇසින් දුටු සාක්ෂි හා CCTV දර්ශන, වෛද්‍ය වාර්තා නිරීක්ෂණය කළ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා එකී ඝාතනය සිදුකරනු ලැබූවේ සිය පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සහ ප්‍රකෝප වීම මත බවට විත්තිය ඉදිරිපත් කළ විත්තිවාචක ප්‍රතික්ෂේප කර චූදිතයින් තිදෙනාවම පොදු චේතනාවකින් යුතුව එම ඝාතනය සිදුකර ඇති බවටව එම මනුෂ්‍ය ඝාතනය සිදුකර ඇති බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇතැයිද සිය තීන්දුව ප්‍රකාශ කරමින් පෙන්වා දුන්නේය.
දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය අනුව කියවිය යුතු 296 වගන්තිය එනම් මිනීමැරීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩු විභාගයෙන් අනතුරුව විත්තිකරුවන්ට විත්තියේ අයිතිවාසිකම් පහදා දුන් අතර 1 සහ 02 විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට විත්තිවාචක ඉදිරිපත් කළ නමුත් තෙවන විත්තිකාරිය නිහඬව සිටියාය.
පොලිසිය විසින් ඇප මත මුදාහළ මරණකරු එදින පස්වරු 2-3 අතර කාලයේදී සිය නිවසට පැමිණෙමින් සිටියදී දෙවන චූදිත ඔහුගේ මිතුරන් පිරිසක් සමග සිටින අයුරු දැක තිබූ මරණකරු "උඹලා නිසා තමයි මට මෙහෙම දෙයක් වුණේ එකෙක්වත් එන්න එපා මගේ ගාවින්" යැයි අසභ්‍ය වචනවලින් බැනවැනී ඇති බවත් "උන්ට කියපන් මම ගෑණුන්ට ගහන්නේ නෑ කියලා" යැයි පැමිණිල්ලේ පළමුවන සාක්ෂිකරුට පවසා ඇති බවත් මෙහිදී අනාවරණය වී තිබේ.
එහිදී තුන්වැනි විත්තිකාරිය ද අසභ්‍ය වචනවලින් බැනවදිමින් ඇගේ සැමියා වන පළමුවන විත්තිකරු සමග එම ස්ථානයට පැමිණ තිබූ බවත් පැමිණිල්ලේ සාක්ෂිවලින් අනාවරණය වී තිබුණු අතර පළමු වන විත්තිකරුගේ දෑත්වල මන්නා පිහි දෙකක් තිබූ බවත් ඔහු ඉන් එකක් බිම තබා අනෙක් මන්නා පිහියෙන් මරණකරුට පහරදෙමින් සිටියදී දෙවන විත්තිකරු ද බිම වැටී තිබූ මන්නා පිහිය අහුලා මරණකරුට පහර දී ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.
එහිදී බිම වැටී සිටි මරණකරු ඒ වන විට මියගොස් නොතිබූ බව දුටු තෙවන විත්තිකාරිය "මරපන් මරපන්" යැයි පවසමින් සිය සැමියාට හා සහෝදරයාව දිරි ගන්වා ඇති බවත් පැමිණිල්ලේ සාක්ෂි මගින් අනාවරණය වී තිබුණි.
පසුව සිය දරුවාද රැගෙන තුන්වැනි විත්තිකාරිය ඇතුළු විත්තිකරුවන් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවත් පොලිසියට ලද දුරකථන ඇමතුමක් අනුව එම ස්ථානයට පැමිණෙන විටත් පහර කෑමට ලක්වූ පුද්ගලයා මිය ගොස් ඇති බවත් අනාවරණය කරගෙන ඇති පොලිසිය පසුව අසල පිහිටි CCTV කැමරාවල පටිගතව තිබූ පහරදීම සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකර පවත්වා තිබේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ අදහස් දක්වමින් පළමු වන විත්තිකරු " ගරු උතුමාණෙනි අපි ඔය රුචිර කියන තැනැත්තා සමග රණ්ඩුවකට ගියේ නෑ. අපේ ගේ ළඟට ඇවිල්ලා එයා තමයි මගේ බිරිඳටයි ඇගේ මල්ලිටත් පහර දුන්නේ. ඒ පහර කාපු බිරිඳ දවස් 6ක් රෝහලේ හිටියා. එයා පොලිසිට ඉදිරිපත් වුණාට පස්සේ තරයේ අවවාද කරලා ඇප දෙනවා ඒ ඇපදීලා එනගමන් මගේ නිවස ළඟටම ඇවිත් වැට කඩලා කුණුහරුපෙන් බැනලා ඒ කෑ ගහලා ඔය ප්‍රශ්නය ඇති කරගත්තේ" යැයි ප්‍රකාශ කළේය.
එමෙන්ම දෙවන විත්තිකරු අධිකරණය අමතමින් " ස්වාමීනි අපේ අතින් වැරැද්දක් වුණා තමයි. රුචිර තමයි අපි නිකන් ඉන්නකොට අපිට ගහලා රණ්ඩුව පටන් ගත්තේ. රුචිර කියන්නේ අපේ වත්තේ හිටිය එපාම කරපු කෙනෙක්. මම අවුරුදු දෙකක් රට ගිහින් දුක් විඳලා හම්බ කරන් ඇවිත් ගේ ගත්තේ මිනීමරලා හිරේ යන්න නෙමෙයි. අපිට සමාවෙන්න ස්වාමීනි" යැයි සඳහන් කළේය.
ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ කොළඹ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා සිදුකර ඇති මනුෂ්‍ය ඝාතනය සාධාරණ සැකයකින් ඔබ්බට ගොස් ඔප්පුවී ඇති බැවින් සැකකරුවන්ට මරණ දණ්ඩනය නියම කළේය.





















































