
තම සැමියා නිවස ඉදිරිපිට සිට බලා සිටියදීම, වසර 14ක් තිස්සේ සේවයට යාම සඳහා භාවිත කළ බස් රථයටම යටවීමෙන් කොළඹ ජාතික රෝහලේ කාර්යභාර නිලධාරිනියක අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම, කළුතර පාරේ, ගල්තුඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි තිදරු මවකි.
ඊයේ (10) අලුයම 05.30ට පමණ සුපුරුදු පරිදි සේවයට වාර්තා කිරීම සඳහා ඇය නිවස ඉදිරිපිට පිහිටි බස් රථ නැවතුම වෙත ගොස් ඇත.
බස් රථය පැමිණීමත් සමඟම, මාර්ගය හරහා ගොස් බස් රථයට නැගීමට එහි ඉදිරිපිටින් ගමන් කිරීමේදී ඇය මෙම අනතුරට ලක්ව ඇති බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
අනතුරින් පසු ඇයට බාහිරව දැකිය හැකි බරපතළ තුවාල නොතිබුණද, වහාම ක්‍රියාත්මක වූ පිරිස ඇයව බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව, ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.





















































