තංගල්ල වෙඩි තැබීම-ඝාතනයට අනුබල දුන් තවත් සැකකරුවෙක් මාට්ටු

තංගල්ල වෙඩි තැබීම-ඝාතනයට අනුබල දුන් තවත් සැකකරුවෙක් මාට්ටු

January 21, 2019   11:35 am

පසුගිය වසරේ දෙසැම්බර් මස 25 වන දින තංගල්ල, කුඩාවැල්ල ධීවර වරාය තුළ සිදු වු වෙඩි තැබීමට සම්බන්ධව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වු කරුණු අනුව මෙම වෙඩි තැබීමට ගමන් ගත් අංක තහඩු නොමැති යතුරු පැදිය ඊයේ(20) පස්වරු 5.30ට පමණ තංගල්ල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇත.

ඒ බෙලිඅත්ත පොලිස් වසමේ පොල්වත්තක කාණුවක් තුළ සඟවා තිබිය දීය.

මෙම යතුරු පැදිය සඳහා යොදා ගත් ආරක්ෂක හිස් වැසුම් දෙකක් පුළුස්සා තිබිය දී සොයා ගෙන ඇති අතර එය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් මඟින් රස පරීක්ෂක වෙත් යොමු කිරීමට නියමිතයි.

මෙම අපරාධය සිදු කිරීම සඳහා අනුබල දුන් තවත් පුද්ගලයෙකු තංගල්ල අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද(21) උදෑසන 10 ට බෙලිඅත්ත ගලගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 31 ක් වු හිඟුරුවැල්ල, ගලගම උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

සැකකරු හෙට(22) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තංගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.