නෙළුම් කුලුනෙන් පැන්න සිසුවිය ගැන තවත් තොරතුරු රැසක්

නෙළුම් කුලුනෙන් පැන්න සිසුවිය ගැන තවත් තොරතුරු රැසක්

October 9, 2024   08:21 pm

තමා අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර පාසලේ නවක වදය ක්‍රියාත්මක වන බව, නෙළුම් කුලුනෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවිය සඳහන් කර ඇති බව ඇයගේ පිය අනාවරණය කර තිබේ.

ඒ, කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේදී සාක්ෂි ලබාදෙමිනි.

කෙසේවෙතත් ඇය කුමන හේතුවක් මත සියදිවි නසාගත්තේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැත.

කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ 17 හැවිරිදි පාසල් සිසුවියක් ඉකුත් සඳුදා නෙළුම් කුලුනෙන් පැන සියදිවි නසාගත්තාය.

ඇයගේ මරණ පරීක්ෂණය ඊයේ (08) කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක කාර්යාලයේදී පැවති අතර එහිදී ඇගේ පියා කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා ඉදිරියේ සාක්ෂි ලබාදී තිබුණි.

එහිදී අදාළ සිසුවියගේ පියා පවසා ඇත්තේ, තමන්ට දියණියන් දෙදෙනෙකු සිටින අතර මියගිය දියණියගේ වැඩිමහල් සහෝදරිය බෙලරූස්හී වෛද්‍ය විද්‍යාලයක දෙවැනි වසරේ ඉගෙනුම ලබන බවය.

ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටි මිය ගිය දියණිය ගෙවුණු සතියේ දින දෙකක්ම පාසල් යාම ප්‍රතික්ෂේප කරමින් අදි මදි කළ බව එහිදී පියා පවසා තිබේ.

සිද්ධිය වූ දින උදෑසන 7.10ට පමණ ඔහු දියණියව පාසල් ගේට්ටුව අසලින් ඇරලවා පිටව ගොස් තිබූ අතර සිය අත්දැකීම මෙලෙස අනාවරණ කළේය,

''අදාළ දිනයේ අමතර පන්තියක් තිබෙනවා කියා දැන සිටියා. ගීතිකා පුහුණුවක් තිබෙනවා කිව්වා. දුවට අපි ෆෝන් එකක් දීලා තිබෙනවා. දහවල් 2.30ට පාසලට එන්න කියලා දුව මැසේජ් එකක් දැම්මා. දහවල් 2.30ට දුවට කෑමත් දුන්නා. පාසලෙන් එළියට ඇවිල්ලා කතා කරලා දුව කෑම අරන් ගියා. ඒ වෙලේ එයත් එක්ක තවත් යාළුවෙක් හිටියා. යාළුවත් එක්ක තමයි ගීතිකා පුහුණුවට යන්න හිටියේ."

"සවස 4.55ට මම ඉස්කෝලෙට ගිහිල්ලා කොල් කළාම පොලීසියෙන් ෆෝන් එක ගත්තේ. පොලිස් නිලධාරියා කිව්වා දුවට අනතුරක් වෙලා නෙළුම් කුලුනට එන්න කියලා. පසුව මාහට පොලීසියේ මහත්තයා කිව්වා මරදාන පොලීසියට එන්න කියලා. මම ඉන් පසුව මරදාන පොලීසියට ගියා. පොලීසිය සිද්ධිය කිව්වා."

අනතුරුව සිසුවියගේ පියා ඇයගේ අතීතය හා මානසික මට්ටම පිළිබඳ ඔහු දැන සිටි කරුණු අනාවරණ කර ඇත.

''දුව හොඳට හිටියා. ඩිප්‍රෙෂන්වලට බෙහෙත් බොනවා. 2022 වසරේ නොවැම්බර් මාසයේ ඉඳලා අවසන් කාලය දක්වාම බෙහෙත් බිව්වා. ඊට පසුව හොඳවෙලා නවත්වන්න කිව්වා බෙහෙත්. ඩිප්‍රෙෂන් කියන්නේ හිටපු ගමන් කලබල වෙලා, එකපාරට නිහඬවෙනවා. 

2024 ජූලි මාසයේදී කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන පිරිමි දරුවකු හා ගැහැණු දරුවකු මියගියා. දෙවැන්නා මගේ දුවගේ යාළුවෙක්. මෙයාගේ පන්තියෙමයි. මාගේ දුව ඒ දෙන්නා එක්ක හුඟක් ළඟින් සිටි නිසා ඒ සිද්ධිය වෙච්ච දවසේ දුව එම ළමයින්ගේ දෙමව්පියන් සමග කතා කළා. පාසලෙන් කිව්වා මගේ ළමයා හොඳයි කියලා. අල්ටෙයාර් මහල් නිවාස සිද්ධියෙන් පස්සේ එයා ගොඩක් දුකින් හිටියා."

මෙහිදී සිසුවිය අධ්‍යාපනය ලැබූ ජාත්‍යන්තර පාසලේ නවකවදය ක්‍රියාත්මක වූ බවට ඇය තමා සමග පැවසීයැයි දැරියගේ පියා සාක්ෂි දෙමින් අනාවරණ කළේය.

''එම සිද්ධීන් ගැන ඇසූවත් අදාළ ළමයින්ගේ විස්තර කියන්නේ නැහැ. නවකවදය කරන්නේ කවුද කියන්නේ නැහැ. මොනවගේ නවකවදය ද දෙන්නේ ඇහුවම කියන්නේ නැහැ. ''

''අපිත් එක්ක එයා හරි හොඳයි. මට හිතෙන්නේ මෙයා සැලසුම් කරලා, කරලා තියෙන්නේ මේක. නෙළුම් කුලුනට කොහොම ගියාද දන්නේ නැහැ. අපි එයාට සල්ලි දෙන්නේ නැහැ. බැංකු ගිණුමක් තිබෙනවා. නමුත් එයාට සල්ලි ගන්න බැහැ වයස 18න් පහළ නිසා. මුදල් අතට දෙන්නෙම නැහැ. එයාට මුදල් අවශ්‍යතාවයකුත් නැහැ.''

සිසුවියගේ පියා වැඩිදුරටත් පවසා ඇත්තේ ඇගේ පරිගණකය හා දුරකථනය තමන් නිතර පරීක්ෂා කර බලන බවය.

සිද්ධිය වූ දින ඇය අමතර පන්ති යන බව පැවසුවත් එම පන්තියට සහභාගි වී නොමැති බවත්, පන්ති යන බවට මිතුරන්ට බොරු පවසා ඇය පාසලෙන් පිටත්ව ගොස් ඇති බවත් ඔහු සඳහන් කර තිබේ. 

දැරියගේ බෑගයේ තිබී රුපියල් 1,500ක මුදලක් හා පාසල් නිල ඇඳුම ඇතුළු භාණ්ඩ කිහිපයක් පොලීසිය සොයාගෙන ඇති අතර ඇගේ හිස ඇතුළු සිරුරේ ස්ථාන රැසකට බහුවිධ තුවාල සිදුවීම හේතුවෙන් මරණය සිදුවී ඇති බව තහවුරු කර තිබේ.

කෙසේවෙතත් දැරිය සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ දැරියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09) උදෑසන බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

මේ අතර සිසුවිය දිවි හානි කරගැනීමේ සිදුවීම පිළිබඳ සොයාබැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය කමිටුවක් පත්කර තිබේ.

සිද්ධියට අදාළව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම පවසන්නේ  සිද්ධිය පිළිබඳ පොලීසිය ඇතුළු බලධාරීන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරමින් සිටින බැවින් සියලුම නරඹන්නන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා අදාළ පාර්ශ්ව සමග පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවය.

යම් පුද්ගලයෙකුට දිවි හානි කරගැනීමට අදහස් ඇතිවන ආකාරයේ මානසික පීඩාවක් වෙතොත් ඒ සඳහාම වෙන්වූ විශේෂිත උපකාරක සේවා අංකය, ජාතික මානසික සෞඛ්‍ය විදයායතනය හෝ ශ්‍රී ලංකා සුමිත්‍රයෝ ආදි ආයතනයක් ඇමතීමෙන් හදිසි උපකාරක සේවා ලබාගත හැකිය.