Back to Top

තවත් කම්කරු දිනයක් අත ළඟය!

April 25, 2017  


තවත් කම්කරු දිනයක් අත ළඟට පැමිණ තිබේ. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු සියලු “නිර්ධන පංතික රාජ්‍යයන්“ අර්බුදයට ගොස් ඇති මොහොතක ඒ රටවල්ද ඇතුළුව ලොව සියලු රටවල පාහේ මැයි දිනය තවමත් සමරන බව මැයි දින පුවත් අපට නිතිපතා පවසයි. එහෙත් ලොව විහිළු සහගතම කම්කරු දින සැමරුම් පැවැත්වෙනුයේ කවර රටකදැයි නිශ්චිතවම කිව නොහැකි වුවද එවන් රටවල් ලැයිස්තුවෙහි අප රට සිටිනු ඇත්තේ ඉදිරි පෙළෙහිම බව නම් නිසැකය. ගිය වසරවල මෙන්ම මෙවරද කම්කරු දිනය සැමරීම සඳහා ප‍්‍රජා පීඩක දේශපාලකයන් කැස කවන ආකාරය ඊට හොඳම නිදසුනයි.

 සෝවියට් විප්ලවයේ සියවෙනි සමරුව වමේ යයි කියනා පක්ෂවල ඇල් මැරුණ ප‍්‍රතිචාර හමුවේ ගෙවී යද්දි එය ඉහළින් සමරන්නට අප රටේ සමාජවාදයට එරෙහි කඳවුරේ නයුවන් කටයුතු කළ ආකාරයටම අප රටේ  කම්කරු දිනයද ඉහළින්ම සමරන්නේ කම්කරුවන්ගේ අයිතීන් එකිනෙක කප්පාදු කරනා දේශපාලකයන් විසින්මය. ඒ අනුව බත් පැකට්ටුවට සහ අරක්කු වඩියට පෙළපාලි යන ඊනියා කම්කරුවන්ගේ පෙළපාලි වලින් ප‍්‍රධාන පක්ෂ දෙකෙහි පිට්ටනි පුරවාලීමේ තරගයට මෙවර ඒකාබද්ධ විපක්ෂය යයි කියනා අන්ත ප‍්‍රතිගාමී ජාතිවාදී නඩයද එක් වූ විට අප ඉදිරියෙහි නියම කොමඩියක් රඟ දැක්වෙනු ඇත.

පැරණි වමේ සාඩම්බරකාරී කම්කරු පෙළපාලි තවදුරටත් අප හමුවෙහි ඉතිරිව නැත. එලෙසින්ම සෑම අවස්ථාවකම පාහේ විචිත‍්‍රවත් මැයි රැළි පැවැත්වීමේ සම්ප‍්‍රදායක් පවත්වාගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණටද තව දුරටත් ඒ විචිත‍්‍රත්වය පවා පවත්වා ගැනීමට නොහැකි තරමට අර්බුද වර්ධනය වී හමාරය. කම්කරු සහ නිර්ධන පංතික බලය ගොඩ නැංවීමේ සටන් පාඨය වෙනුවට ඔවුන්ට අද සිදුව ඇත්තේ තමන්ගෙන් වෙන්ව ගිය පෙරටුගාමීන් සමග කරනා ද්වන්ධ සටන ගැන සම්පූර්ණ අවධානය යොමු කිරීමටය.

සුළු සාමාජිකත්වයන් ඇති පක්ෂ වෙන් කරගත් ශාලාවන්හී සිය කම්කරු දින සමරු පැවැත්වීමෙන් සෑහීමට පත්වන අතරේ තමන් යටතේ සේවය කරනා මාධ්‍යවේදීන් හට සාධාරණ අයුරින් සැලකීම පැහැර හරිනා හිමිකරුවන් යටතේ ශ‍්‍රමය විකුණන මාධ්‍යවේදීන් අතින් මෙවරද කම්කරු දිනයේ ඉතිහාසය, ලෙයින් තෙත්වූ රෙදි කඩකින් රතු ධජය නිර්මාණයවූ ආකාරය, චිකාගෝ කම්කරුවන්ගේ වීරෝධාර අරගලය ආදී වශයෙන් සාහිත්‍යය ලියවෙනු ඇත. මැයි දෙවෙනිදා සිට යළිත් අපේ ජීවිත වැටෙනු ඇත්තේ සුපුරුදු අලස පීල්ලටමය.

වර්තමානයෙහි කම්කරුවා මුහුණ දෙන ප‍්‍රධානම අර්බුදය වී ඇත්තේ තමන් කම්කරුවකු බව ඔහුටම අමතකව යාමයි. මාක්ස් ගේ අදහස් තව දුරටත් කාලීන අවශ්‍යතා හමුවේ සංවර්ධනය කිරීමේ කාර්යභාරයට අත නොගසා නැතිවීමට යදම් හැර අන් කිසිවක් නොමැති කම්කරු පංතියක් පිළිබඳ පැරණි න්‍යායේම සිරව හිඳිමින් කම්කරුවා හඳුනා ගැනීමට වමේ දේශපාලන පක්ෂ තවමත් දුරේක්ෂ මානන අතරේ නූතන කම්කකරුවා පැරණි යදම් වෙනුවට නැතිවීම මහත් පාඩුවක් සේ තමනට පෙනෙනා අධි පාරිභෝජනවාදී වස්තු සමූහයක හිමිකරුවෙකු, ලීසිං ගෙවන්නකු, දේපල හිමියකු බවට පත්ව සිටී. දැන් ඔහු කවර සටනකදී වුව පලමුවෙන්ම කල්පනා කරනුයේ වැටුප් රහිත මාසයක තමන් ඉදිරියේ ගොඩගැසෙනා බිල්පත් ගැනය. අනෙක් අතින් ඔහු මානසිකව තව දුරටත් තමන් කම්කරු පංතියේ යයි සිතන්නට පවා මැලිවන තරමට තමන්ගේ නිවෙස, සහ තමන් විසින්ම නඩත්තු කරනා සමාජ තත්ත්වය නම් ව්‍යාජයෙහි වහලෙක් බවට පත්ව සිටී.

 එහෙයින් අදවන විට කම්කරු සටන් යන්නට පළමුවෙන්ම අවඥා සහගත ලෙස සිනාසෙන්නේ අන් කවුරුත් නොව කම්කරුවාමය. එවන් තත්වයක් යටතේ අදවන විට වමේ පක්ෂවලට කම්කරුවන් ලෙස පෙළපාලියෙහි ගෙන යාමට ඉතිරිව සිටිනුයේ පහලම සමාජ ස්ථරයන්ට අයත් දේශපාලන සවිඥානකත්වයෙන් තොර පිරිස් සහ සරසවි සිසුන් පමණි. එසේ පෙළපාලිවල ඉදිරියෙන් ඇදෙනා පිරිස්ද කාලයක් තිස්සේ වම සහ දකුණ යන දෙකම විසින් නඩත්තු කරන ලද ආගමික අන්තවාදය ජාතිවාදය ඇතුළු විවිධ අගතීන් හී ගොදුරු බවට පත්ව සිටිනා තත්ත්වයක් යටතේ අරගල යන්න නතර වනුයේම පටු අන්තවල සිරවෙමිනි. සමස්ත රටම අදවන විට ඉන්නේ පෙර දැක්මක් රහිත තත්වයක වන විට ඉතා අසීරුවෙන් යටපත් කරන ලද අතිශය සමාජ විරෝධී අන්තවාදී මතවාද ඇත්තේ යළි හිස ඔසවමිනි.

වත්මන් කම්කරු පංතියෙහි දේශපාලන සවිඥානකත්වය වටහා ගැනීමට යමකු කළ යුත්තේ වෘත්තීය සමිති වලට බැඳී ඉන්නා කම්කරුවන් සංඛ්‍යාව විමසීමය. පසුගිය කාලය පුරාම දක්නට ලැබුණ කැපී පෙනෙන අව ප‍්‍රවණතාවක් වූයේ වෘත්තීය සමිතිවලට බැඳීමට සේවකයන් දක්වන උනන්දුව අඩු කමයි. මෙය රාජ්‍ය අංශය තුළ ඉතා දරුණුය. මේ පරිහානියට වෘත්තීය සමිති නාමයෙන් තම පුද්ගලික පහසුව ගැන සිතනා වෘත්තීය නායකයන් වගකිව යුතු බව අවිවාදිතය. මෙහි අවසන් ප‍්‍රතිඵලය වී ඇත්තේ වෘත්තීය සමිති බොහොමයක් නාම පුවරු බවට හැකිළී යමින් පැවතීමයි. ඇතැම් වෘත්තීය සමිති නායකයන් වේදිකාවල පාලකයන් සමග එකපෙළට හිඳ සිටීමට දක්වන උනන්දුව දකින විට ලංකාවේ කම්කරු ව්‍යාපාරයෙහි අනාගතය ගැන තක්සේරු කිරිම අපහසු නැත.


තව මොහොතකින් බිඳ වැටීමට නියමිත යයි ගණන් හදා පෙන්වනු ලබනා ධනවාදී ලෝකය සිය බිඳ වැටීම හමුවේ වුව වමට වඩා දක්ෂ ලෙස සිය ක‍්‍රිඩාවෙහි නිරත වෙමින් සිටියි. නව ලිබරල්වාදය හමුවෙහි ඔවුන් කොතෙක් දුර ගමන් කර ඇත්තේදැයි කිවහොත් සූරා කෑම ඉතා සූක්ෂම ලෙස සිදුවන යාන්ත‍්‍රණයන් හමුවෙහි අදවනවිට කම්කරුවාට තමන් සූරාකෑමට ලක්වන බව පවා අමතක වන ප‍්‍රමෝදයක ඔහු පසුවෙයි. තමන් අතට ලැබෙනා වැටුප ගැන බලනා නූතන කම්කරුවා ඒ සඳහා හාම්පුතා විසින් තම ශ‍්‍රම පැය කොපමණ ප‍්‍රමාණයක් ලබාගෙන ඇතිදැයි බලන්නට නොතැවෙයි. අතට ලැබෙනා මුදල මිස එය වියදම් කර ජීවිතය විඳින්නට ඉසිඹුවක් නැති විෂම චක‍්‍රයක සිරව සිටිනා කම්කරුවාට ඇත්තේ ඒ මොහොත පමණි.
අප රටේ කම්කරු පංතිය දෙස බලන විට දක්නට ලැබෙන අනෙක් බරපතළම පරිහානිය වනුයේ ඔවුන් ජාතිවාදී සහ ආගමික අන්තවාදී අහුමුලූවලට තල්ලූ වෙමින් ඉන්නා වේගයයි. මේ අවප‍්‍රවණතාවෙන් ඔවුන් ගලවා ගැනීම සඳහා කිසිදු වෘත්තීය සමිතියක අවශ්‍යතාවක් හෝ අරමුණක් නැති සෙයකි. දැන්වත් කම්කරු පංතියක අවශ්‍යතාව තදින් දැනෙනා අද දවසෙහි අපට ඇත්තේ කියවීමෙන්, හැදෑරීමෙන් බොහා් දුරස් කම්කරු නායකයන් සහ කම්කරු පංතියකි.

 ඉදින් අද දවසේ කම්කරු දිනය හමුවේ ඇති බරපතළම අභියෝගය වනුයේ රටෙහි අනාගතය නිසි මගට ගැනීම පිණිස ක‍්‍රියාශීලී දේශපාලනයෙහි නිරතවීමට සමත් දැනුවත් කම්කරු පංතියක් බිහිකර ගැනීමය. ඒ සඳහා පෙළපාලි වලටත් වඩා අවශ්‍ය බරපතළ සංවාදයක් සහ අධ්‍යාපන වැඩ සටහනකි. බත් පැකට්ටුවට, අරක්කු වීදුරුවට පෙළපාලි යන ව්‍යාජ කම්කරු පෙළපාලි හා තරග වැදීම වෙනුවට වෘත්තීය අයිතිවාසිකම් මතු නොව රටෙහි තීරණාත්මක කාරණා සම්බන්ධයෙන් සක‍්‍රීයව මැදිහත් විය යුතු බලවේගයක් අද අපට ඇවැසිව තිබේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම සඳහා ආණ්ඩුව දක්කාගෙන යාමට ඇති අසීරුව ගැන පමණක් බැලූවද පාලකයන්ට පීඩනයක් එල්ල කළ හැකි දැනුවත් හා දියුනු කම්කරු පංතියක අවශ්‍යතාව ඉතා හොඳින් පැහැදිලිය. අප මේ ගැන නොසිතා හුදු මැයි දිනය සැමරීමෙන් පමණක් සෑහීමට පත් වනනේ නම් අවසානය දක්වාම අපට ඉතිරි වනු ඇත්තේ “සාදුකින් පෙළෙනවුන්“ ගීතය පමණි.


නුවන් උදය වික‍්‍රමසිංහ





MOST VIEWED VIDEO STORIES

MORE >>