Back to Top

සැලසුමක් නැති රටක නිදහසේ 69 වසරක්

January 31, 2017  


විධිමත් සැලසුම්කරණයක් නොමැතිවීමේ ඛේදවාචකට මත විනාශය කරා ඇදෙනා රටක් පිළිබඳව අප උදාහරණ සපයමින් ඉන්නේ නිදහස ලැබූදා පටන් අඛණ්ඩ ක‍්‍රියාවලියක් ලෙසිනි. නිදහසේ හැට නමවෙනි සංවත්සරය සැමරීම සඳහා ආණ්ඩුව ලකලෑස්ති වෙමින් ඉන්නා පසුබිමක අප ආපසු හැරී බලන්නේ නම් පැහැදිලිවම පෙනෙනු ඇත්තේ අපේ ඉතිහාසය යනු නිදහසින් පසුව ගෙවුන කාලය යනු විධිමත් සැලසුම්කරනයක් රහිතව හුදෙක් එදා වේල පරමාර්ථයෙන් පාලනය ගෙන ගිය අදූරදර්ශී පාලකයන් පෙළකගේ බඩගෝස්තරවාදයක පුවතක් ලෙසින් පමණී. එය පසුගිය කාලය පුරාම රට කළ දක්ෂිණාංශීක මෙන්ම වාමාංශික යයි කියාගන්නා කවරකුට වුව එකසේ අදාළ විය යුත්තකි.

                  අවම තරමින් රටේ මූලිකම අංශ වන අධ්‍යාපන  සහ සෞඛ්‍ය යන ක්ෂේත‍්‍රයන්ටවත් දිගු කාලීන ප‍්‍රතිපත්තියක් තිබුනේ නැත. ආණ්ඩු මාරුවෙන් මාරුවට ප‍්‍රතිපත්ති වෙනස් කරන එසේ කරනා වෙනසද රට ගැන සිතීමෙන් තොරව හුදෙක් තම අභිමතය පරිදිම කිරීම හේතුවෙන් රටේ සියලුම අංශ මේ වනවිට පවතින්නේ බරපතළ අර්බුදයක කරවටක් එරී ගොසිනි. මේ සඳහා මෑතම අපට දක්නට ලැබුණ සරලම උදාහරණයක් වන්නේ ලොතරැයි සම්බන්ධයෙන් ඇතිව තිබෙනා ගැටළුවයි. පසුගිය බදාදා වන විට දැන ගන්නට ලැබුනේ ජනපතිවරයා මැදිහත්ව ලොතරැයි මිල පෙර තත්ත්වයෙන්ම පවත්වා ගැනීමට නියෝග කළ වගකි. මෙය අප පසුගිය කාලය පුරාම දුටු තත්ත්වයකි. ආණ්ඩුව විසින්ම ගනු ලබන තීරණ වලදී මුල සිට ඒ නොදුටුවා සේ සිට පසුව ගැලවුම් කාරයාගේ භූමිකාව නැතිනම් තෙවන විනිසුරුගේ චරිතය රඟමින් ජනපති තරනා මේ මැදිහත්වීම නිසි කරුණු නොසොයා හුදෙක් ආර්ථික පාර්ශවයම වෙනුවෙන් තීරණ ගන්නා යූඑන්පී පිලෙහි අමනෝඥකමට කෙසේවත් දෙවෙනි වන්නේ නැත. මේ සියල්ලේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ සමස්ත රටෙහිම ප‍්‍රජාවගේ අනාගතය අඳුරට වැටීම පමණි.


                  අපේ අවාසනාව දෙගුණ තෙගුණ වන කාරණාව වන්නේ අප රටෙහි රජයේ සේවයද දේශපාලකයන් වැනිම වූ දැක්මකින් තොර නිලධාරි පංතියකින් සමන්විත වීමයි.
රටෙහි ජාතික මට්ටමේ වැදගත්කමක් දරනා ජාතික ප‍්‍රශ්නය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වැනි කරුණු ගැන මෙන්ම එදිනෙදා ජනජීවිතයට සෘජුව බලපානා වෙනත් පාර්ශව සම්බන්ධයෙන්ද විධිමත් සහ දිගුකාලීන ප‍්‍රතිපත්ති සහ සැලසුම් නොමැතිවීම හේතුවෙන් මේ වන විට පවතින්නේ ඉහළින් මෙන්ම පහලින්ද දෙදරා යමිනි. මේ සියල්ලේ අවසන් ප‍්‍රතිඵලය වනු ඇත්තේ ජනජීවිතය ඛේදයක් වීමයි. පසුගිය කෙටි කාලය පුරා ආණ්ඩුවම උස් හඬින් පවසමින් ඉන්නා නියඟය ආශ‍්‍රිතව මේ වන විට ඇතිවෙමින් පවතින ඇතැම් අර්බුදයන්ද වක‍්‍රාකාරයෙන් පවසන්නේ රටෙහි පැවති සෑම ආණ්ඩුවකම අදූරදර්ශී පැවැත්ම හැර අන් යමක් නොවේ.

                      පානීය ජල ප‍්‍රශ්නය මේ සඳහා වන හොඳම උදාහරණයකි. මෙය ඉතා බරපතළ තත්ත්වයකට පත්ව තිබෙන පළාතක් ලෙස කළුතර ප‍්‍රදේශය දැක්විය හැකි අතර එහි පවත්නා තත්ත්වය අපේ සැලසුම්කරණය සම්බන්ධයෙන් දේශපාලකයා මෙන්ම නිලධාරියාද අසාර්ථක වීම ගැන නරකම චිත‍්‍රයකි. රටෙහි විශාලම ජල ප‍්‍රමාණයක් මුහුදට ගලා බසිනා කළු ගඟ දෑලෙහි කළුතර ආශ‍්‍රිතව ජීවත්වන විශාල සංඛ්‍යවකට මෑත කාලය පුරාම මුහුණ පාන්නට වී ඇති බරපතළම ප‍්‍රශ්නයක් වී ඇත්තේ සතියක් දෙකක් වැනි සුළු කාලයක් තුළ පවා ඇතිවන වියළි කාලගුණ තත්ත්වයක් හමුවේ කළු ගඟට කරදිය මුසුවීමය. දිගු කාලයක් පුරා කිසිදු සැලසුමකින් තොරව දේශපාලන මැදිහත්වීම්ද සහිතව ග‍ෙඟන් අසීමිත ලෙස වැලි ගොඩදැමීමට පුද්ගලයන්ට ඉඩ හැරීම තුළ මේ වන විට ගං පත්ල පවතිනුයේ මුහුදු මට්ටමට වඩා බොහෝ පහලිනි. එහි ප‍්‍රතිපලය වන්නේ ගෙඟහි ජලය ගලා යන වේගය අඩුවන සැණින් සීග‍්‍රයෙන් කරදිය ගං දියට මුසුවීමයි. නියං තත්ත්වයක් ඇතිවනවිට හටගන්නා මේ තත්ත්වය උග‍්‍රවන විට ජලය පොම්ප කරනා පොම්පාගාරයෙහි යන්ත‍්‍රද කරදිය හේතුවෙන් අකර්මණ්‍යවන අතර ජලයෙහි ලවණ ගතිය ඉහළ යාමත් සමග එය භාවිතා කිරීමද සෞඛ්‍යයට අහිතකර වෙන්නට ගනියි.

                          දිගු කාලයක් මුළුල්ලේ පවතින මේ ගැටළුවට මේ වන විට නිල්වලා මෙන්ම ගිං ගඟද ගොදුරුවී හමාරය. එහෙත් අදවන තෙක්ම මේ ගැන ස්ථිරසාර සහ දිගුකාලීන විසඳුමක් දේශපාලකයන්ගෙන් මෙන්ම නිලධාරීගෙන්ද ලැබී නැත. කළුතර ප‍්‍රදේශයට ලැබී ඇති තාවකාලික විසඳුම වන්නේ මිනිසුන් අතර කෝලාහල පවා ඇතිවන ආකාරයට අක‍්‍රමවත්ලෙස පානීය ජල ටැංකි  අදාළ කාලය තුළ තැබීම පමණි.
කළු ගඟෙහි ඉහළ නාරගල නම් ප‍්‍රදේශයෙහි අලූතින් ඉදිකර ඇති පොම්පාගාරය හරහා කොළඹ ප‍්‍රදේශයට කරදියෙන් තොර පානීය ජලය ලැබෙන විට ගඟ දෑලෙහි මෙන්ම කළුතර ආශ‍්‍රිතවද ජීවත්වන විශාල සංඛ්‍යාවකට සිදුව ඇත්තේ සිය අවශ්‍යතා සඳහා ජලය වෙනුවෙන් රණ්ඩු කිරීමටය. ගඟට කරදිය මුසුවීම වලක්වාලීම සඳහා වන වැඩ පිළිවෙළක්  යෙදීම මෙන්ම ගඟෙහි කරදිය ගලා නොයනා ඉහළ ප‍්‍රදේශයෙහි ජල පොම්පාගාර ස්ථාපිත කිරීම වැනි දිගුකාලීන වැඩ පිළිවෙළක් හරහා මේ ගැටළුව විසඳිය හැකිව තිබුණද අදවන තුරුමත් මේ ගැන නිසි අවධානයක් කිසිදු පාර්ශවයකින් යොමුව නැත.


අනෙක් අතින් ජනතාවටද වැසි සමය ආරම්භවීමත් සමග සිය ගැටළුව අමතක වන අතර මේ සියලු තත්ත්වයන් මැද ගැටළුව දිගටම පවතිනුයේ නොවිසඳුණු තත්ත්වයෙනි. මෙවර අනාවැකි පලකර ඇති ආකාරයට නියගය අල්ලා සිටියහොත් කලූතර ප‍්‍රදේශය පානීය ජල අර්බුදය හේතුවෙන් නරකාදියක් බවට පත්වීම වලක්වන්නට බැරිවනු නියතය. ලොව වැඩිම වර්ෂාවක් වාරත්වන රටක් ලෙස නම්දරාසිටින ලංකාවේ ජනතාවට පානීය ජලය සම්බන්ධයෙන් මෙවන් ගැටළුවලට මුහුණපෑමට සිදුව ඇත්තේ අන් කිසි හේතුවක් නිසානොව නිසි සැලසුම් නොමැතිවීම නිසා බව අප පිළිගතයුතුව තිබේ.

මේ ආකාරයටම රට පුරා ඇතිවෙමින් පවත්නා තවත් ව්‍යසනයක් පිළිබඳව තවමත් රටේ කිසිවකුගේ හෝ අවධානය යොමුව නැති බව පැවසිය යුතුය. ඒ වන අලින්ගේ උවදුරු වලට අමතරව රට පුරා සීග‍්‍රයෙන් පැතිර යන වඳුරු සහ මොණර උවදුරයි. මේ වන විට මේ සතුන් දෙවර්ගයම රට පුරා විශාල ලෙස ව්‍යාප්ත වන අතර වනජීවී දෙපාර්තමේන්තුවටද ඒ ගැන වැඩපිළිවෙළක් නැත. ස්වාභාවික පාලන චක‍්‍රයන් බිඳ දමා ඇති පසුබිමක මෙවන් වගා හානිකර සතුන්ගේ ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකිවීම යනු ඉදිරියේ බරපතළ ගැටළු ඇති කරන්නක් බව අප තවමත් සිතා නැත. ඔස්ට්‍රේලියාව සිය ජාතික සංකේතය වන කැන්ගරුවා විශාල ලෙස ව්‍යාප්ත වන විට ඒ පාලනය කිරීමට නොපැකිල පියවර ගනියි. එහෙත් අප රටෙහි මෙවන් ව්‍යසනයන් හමුවෙහි ගත හැකි පියවර ගැන කිසිවකුත් නොසිතනසේම ජනතාවට සිදුව ඇත්තේ එක් පසෙක නීතියත් අනෙක් පස තම දේපළ  හානියත් ඉවසාගෙන දත්මිටි කෑමටය.

කල් තබා මේ ප‍්‍රශ්න හඳුනා ගෙන දිගුකාලීන මෙන්ම කෙටි කාලීන විසඳුම් වලට යාමට අප අසමත් වන්නේ නම් අවසන් ප‍්‍රතිඵලය වනු ඇත්තේ බරපතළ ලෙස ජනජීවිතය බිඳවැටීමය. ඉදින් ලොතරැයි අලෙවි ප‍්‍රශ්නයට වඩා මෙවන් ප‍්‍රශ්න රටේ අනාගතයට අහිතකර අන්දමින් බලපාන බව අගමැති මෙන්ම ජනපතිද වටහා ගත යුතුය. රටක පාලනය ගෙයාම යනු ක්ෂණික නූඞ්ල්ස් පිසීමට වඩා දූරදර්ශී ඥාණයක් ඇවැසි බැරෑරුම් කාර්යයක් බව වටහා නොගන්නා දේශපාලකයන් සිටීම යනු මෙහි ඉහත දැක්වූ වන සත්ව උවදුරටත් වඩා  බරපතළ  ව්‍යසනයකි.


- නුවන් උදය වික‍්‍රමසිංහ



MOST VIEWED VIDEO STORIES

MORE >>