Back to Top

රාජපක්ෂලා පෙන්වා දාන සෑම බරක්ම ජනතාව ඉවසිය යුතුද?

November 22, 2016  



දහවල යනු තෙරක් නොපෙනෙන කතරක ගිම මැද කරන ගමනක් වැනිය. රාත‍්‍රියද අරුණෝදාව වන විට කවර ගිනි කන්දක් පුපුරාද යනුවෙන් සිතාගත නොහැකි අනන්තය සේ දිගු අන්ධකාර ගමනකි. ශ‍්‍රී ලාංකිකයාගේ ජීවිත ගෙවෙමින් තිබෙන්නේ බාල ටයරයක් රළු මගක ගෙවෙන්නාක් වැනිව කඩතොළුව යමිනි. අපි අනාගතයක් පිළිබඳ දෑස් දල්වාගෙන එය අපේ දෑස් ඉදිරිපිටම වියැකී යන ආකාරය බලා සිටිනා සාක්ෂිකරුවන් බවට පත්ව සිටිමු.

අයවැය හමාරව ඇත්තේ ජනතාව තුළ අසහනය තවත් වැඩි කරමිනි. අයවැයෙන් පසුව දිගින් දිගටම මතුව ඇත්තේ ඒ කෙරේ වන විවේචනයන්මය. විරුද්ධ පක්ෂයෙන් එල්ලවන ද්වේශ සහගත විවේචනයන් මෙන් නොව මේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් යමක් කරාවි යැයි බලා සිටි ජනතාව වෙතින් එල්ලවන විවේචන පහසුවෙන් බැහැර කළ හැකි ඒවා නොවේ. ඒ වෙනුවට අපට දිගටම අසන්නට ලැබෙන්නේ ආණ්ඩුවේ අමාරුකම් ගැන පැහැදිලි කිරීම් පමණි. එහෙත් අපට ඇති විවේචනය වන්නේ ආණ්ඩුවට එසේ පහසුවෙන් තම පියවර සාධාරණීකරනය කළ හැකිද යන්නයි.

 පසුගිය පාලනය හමුවේ පැවති කොල්ලකාරී ප‍්‍රතිපත්ති හමුවේ රට "අගාධයෙන් අගාධයට ගියේය" යන කරුණ පිළිබඳව අප කිසිවකුට හෝ වාදයක් නැත. එහෙයින්ම අද වන විට සමස්ත රටටම ඉතා බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුව ඇත්තේය යන්නද අවිවාදිතය. සිහි බුද්ධිය ඇති සැවොම ඒ ගැන මනාව දනිති. එහෙත් ප‍්‍රශ්නය ඇත්තේ එක් අතකින් මේ පාලනය ආරම්භයේ සිටම ජනතාව මේ ගැන දැනුවත් නොකිරීමයි. ඔවුන් මුලදී කියා සිටියේ රටේ කිසිම ආර්ථික අර්බුදයක් නැත යනුවෙනි. එසේම සියලු ප‍්‍රශ්න වලට තමන් සතුව "විශ්වකර්ම පිළිතුරුද ඇත" යනුවෙනි. එහෙත් පාලනය බාරගත් දා සිට සැබෑ අභියෝග එන විට ඔවුන්ට කරන්නට ඉතිරිව ඇත්තේ ජනතාවට බර පැටවීම පමණක්දැයි සිතෙන තරමටම ඔවුන්ගේ ආර්ථික ප‍්‍රතිපත්ති දියාරුව ගොසිනි.


රටක හඳුන්වා දෙන බදු ප‍්‍රතිපත්තිය මෙන්ම දඩ ප‍්‍රතිපත්තියද හුදෙක් ජනතා යහපත සඳහාම බැව් පැහැදිලිව පෙනී යා යුතුය. එය එසේ නොවී ජනතාව මත පටවන බරක් පමණකැයි පෙනෙනා විට තත්ත්වය ඉතා බරපතළය. අපට ඉතිහාසය පුරාම අපේ අයවැය හමුවේ ඇතිව තිබෙනා හැඟීම එයයි. අද වනවිට රටෙහි ඉතා බරපතළ ගැටළුවක් ලෙස ප‍්‍රධාන පුරවැසියාගේ පටන් ඉදිරිපත් කෙරෙන කරුණක් වන්නේ මත්පැන් සහ දුම්වැටි භාවිතයයි. ඒ අනුව ඊට ඇති එකම විසඳුම ලෙස ඉදිරිපත් වන්නේ මිනිසුන්ට එය ලෙහෙසියෙන් අත්පත් කරගත නොහැකි වන සේ මිල ඉහළ  දැමීමයි. එම ප‍්‍රතිපත්තිය අනුව කොතෙක් මිල ඉහළ ගොස් ඇතිදැයි කිවහොත් මේ වන විට මත්පැන් සහ සිගරැට් ඇත්තේ සේප්පුවල දමා ආරක්ෂා කරන මට්ටමකය.

 එහෙත් ඊට සාපේක්ෂව ඒවායේ භාවිතාව කොතෙක් පහල ගොස් ඇතිදැයි කළ සමීක්ෂණයක් තිබේද? අපට සමාජයෙහි පෙනෙන්නට ඇති සරල සත්‍යය වන්නේ භාවිතාව අඩුවීම කෙසේ වෙතත් මිල ඉහළ දැමීමේ ප‍්‍රතිඵලය ලෙස වෙනත් පාරිභෝගික අවශ්‍යතාවන් සඳහා වැය වන මුදලේ නම් අඩුවක් ඇතිව තිබෙන බවයි. පසුගිය කාලය පුරාම මෙලෙස මිල ඉහළ දැමීම් වල අරමුණ බව අපට නම් පෙනුනේ ජනතා යහපත නොව ආණ්ඩුවේ මල්ල පුරවා ගැනීම බවයි. එය එසේ නොවන්නේ නම් ආණ්ඩුවක් පළමුවෙන්ම කළ යුත්තේ ජනතාව අයහපත් ඇබ්බැහිවලින් මුදවා ගැනීම පිණිස කළයුතුවන පළමු කාර්යය එනම් යහපත් සමාජයක් ගොඩනැගීමට කැප වීමයි. අනෙක් අතින් අයවැයට අනුව සීනි මිල පහල දමා තිබීම හරහා රටේ දියවැඩියාව ඉහළ  යාමට පසුබිමක් ඇතිවේ යැයි කවරකු හෝ තර්ක කළහොත් එයත් අපට පදනම් විරහිත යයි කිව හැකිද?


ආණ්ඩුව මෙවර සිය හිඟය පියවා ගැනීමට අයවැයෙන් කර ඇති එක් යෝජනාවක් වන්නේ රථවාහන වැරදි සඳහා වන දඩමුදල් ප‍්‍රමාණය ඉහළ දැමීමයි. එයද මේ වනවිට රටතුළ ඇති කර ඇති චිත‍්‍රය එතරම් යහපත් නැත. විශේෂයෙන්ම ඇතැම් වැරදි සඳහා දඩමුදල් ඉහළ දමා ඇති ප‍්‍රමාණය සලකා බලන විට පැහැදිලිව පෙනෙනුයේ එය කර ඇත්තේ හිඟපාඩු පිරිමසා ගැනීමට මිස රටේ විනයක් ඇති කිරීමට නොවන බවයි. එවන් දඩ ක‍්‍රමයක් කරා යාමට පෙර ආණ්ඩුව කල්පනා කළ යුතු කරුණු රාශියක් තිබේ. රටේ මාර්ගවල විනය ස්ථාපිත කිරීම කෙරේ අති බහුතරයක් විරුද්ධ නැත. එහෙත් ඒ විනය ඇති කිරීමේදී දඩ මුදලට පෙර ඇති කළ යුතු තවත් වෙනස්කම් රාශියක් තිබේ. ඉන් අතිශය වැදගත් අවශ්‍යතාව වන්නේ රටේ මාර්ග පද්ධතියේ ඇති තදබදය අවම කිරීමට පියවර ගැනීමයි. එය අවම කිරීම සඳහා වන වැදගත්ම විසඳුම ලෙස එහෙත් දඩය නොසැලකිය යුතුය. අද වන විට මාර්ග පද්ධතියේ තදබදය අවම වීමට එක් හේතුවක් වන්නේ අධික වේගයෙන් ධාවනය කිරීමට අමතරව ඉතා සෙමින් ධාවනය කරන වාහනද සැලකිය යුතු ප‍්‍රමාණයක් මාර්ගවල පැවතීමයි. එහෙත් අප මාවත්වලදී දකින්නේ ඉරි කපන, අධික වේගයෙන් ධාවනය වන වාහන පදවන අයට කෙරෙන දඬුවම් පමණි. මාවතේ යන අනෙක් රථවලට අවහිර වන සේ ඉතා සෙමින් යන වාහන පදවන්නන්ද අන් අයට අවහිර කරනා පුද්ගලයන්සේ සැලකිය යුතු වුවද එවන් අයට දඩ කොල ලියවෙනු අප දැක නැත. මේ අපේ මාර්ග වල දක්නට ලැබෙනා එක් අවුලක් පමණි. එහෙත් මෙවන් බොහෝ කරුනු අද දවසේ රථවාහන තදබදයට හේතුවී තිබේ.
 

මෙවර ආණ්ඩුව කාබන් බද්දක් පැනවීම හරහා තවත් අවුලක් නිර්මාණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී දුම් සහතිකය සමග කාබන් බද්දක බරද ජනතාව මත පැටවෙනු ඇත. කාබන් අවම කිරීම යනු කිසිවකුට හෝ විරුද්ධ විය හැකි පිළිවෙතක් නොවේ. එහෙත් ප‍්‍රශ්නය වන්නේ මේ බද්ද ගැනීම හරහා පරිසරයේ කාබන් අවම කිරීමට ගන්නා වැඩ පිළිවෙලක් ගැන අප දැන නොසිටීමයි. ඒ වෙනුවට අපට ඇති අවබෝධය වන්නේ මෙයද හුදෙක් ආණ්ඩුවේ බර සැහැල්ලූ කරගැනීමට ඇති කරගත් ආදායම් වැඩිකිරීමේ යෝජනාවක් පමණක්ය යන්නයි.


රටක බදු ක‍්‍රමය සංශෝධනය වන විට ඉන් ජනතාවට යහපතක් සැලසෙන බවට අවබෝධයක් ජනතාව තුළ ඇතිව තිබිය යුතුය. එසේ නොමැති විට ඇති වන්නේ බදු ක‍්‍රමයට එරෙහි විරෝධයක් ගොඩනැගීම පමණි. අද වෙමින් පවතින්නේ එයයි. මෙය නව ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිමය පාර්ශවයන්ගේ මෙන්ම දේශපාලන පරිණත බවේද පැහැදිලි අඩුවකි. ඔවුන් සැම විටම කරන්නේ අවසානයට කළ යුතු දේ පළමුවෙන්ම කිරීමයි. නැතිනම් රෝගයට දිය යුතු ඉහළම බෙහෙත ආරම්භක අවස්ථාවේ දෙන වෙදාගේ කාර්යයයි. ඉදින් එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ ප‍්‍රශ්නය ඔඩුදුවා ජනතා විරෝධය හමුවේ අතරමැදි විසඳුම් දෙන තත්වයට එනවිට ජනතාවට ආණ්ඩුව එපාවී තිබීම පමණි.

 
ආණ්ඩුවට එකවර පෙරමුණු කිහිපයකම සටන් කිරීමට සිදුව ඇති බව අප පිළිගතයුතු කරුණකි. අද වනවිට යළිත් හිස ඔසවාගෙන එන අන්තවාදී රැළි ඊට එක් උදාහරණයකි. පරාජයට පත් කරන ලද බලවේග යළි කුමන්ත‍්‍රණකාරී ලෙස හිස ඔසවන ආකාරය දැන් ඉතා පැහැදිලිව පෙනෙයි. ඒ තත්ත්වය යටතේ ආණ්ඩුවේ ගමන් මග තවත් අසීරුවන බව ඔවුන්ට පමණක් නොව ජනතාවටද ඉතා හොඳින් පැහැදිලිය. මේ සියල්ල මැද ඔවුන් තවත් ඉවසා සිටින්නේ එහෙයිනි. එහෙත් රජය ඒ ඉවසීම ජනතාව තමන් කියනා ආකාරයට සිටීමක් ලෙස වරදවා නොගත යුතුය. අනෙක් අතින් නැවත රාජපක්ෂ යුගයක් ඇතිවනු දැකීමට ඇති නොකැමැත්ත මත ජනයා මේ ආණ්ඩුවේ සියලු අඩුපාඩු ඉවසා සිටිනු ඇතැයි කියාද නොසිතිය යුතුය. මන්ද යත් අපේ අපේක්ෂාව වන්නේ ඉදිරියට යාම මිස ආපස්සට යාම නොවන හෙයිනි.



- නුවන් උදය වික‍්‍රමසිංහ


MOST VIEWED VIDEO STORIES

MORE >>