Back to Top

සයිටම් අවුලට විසඳුමක් දෙන්නේ කොහොමද?

February 14, 2017  

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අධිකරණය විසින් දෙන ලද නඩු තීන්දුව සමග මතුපිටින් බලන විට පෙනෙනුයේ අදාළ ගැටළුව සමනය වී ඇති බවකි. එහෙත් එය නැවත වටයකින් අධ්‍යාපනය සම්බන්ධයෙන් රටේ පවත්නා අර්බුදය මෙන්ම ආණ්ඩුවද දේශපාලනයේදී හැසිරෙන ආකාරය පිළිබඳව පෙන්වන දර්ශකයක් බවට පත්ව තිබේ. නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් වූ අවස්ථාවේදී වෛද්‍ය සභාව මෙන්ම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය ඒ ගැන පළකළ අදහස් හරහා ප‍්‍රකාශවූ එක් අදහසක් වූයේ රජය පැත්තෙන් සයිටම් පිලිබඳව නියම ආකාරයට අධිකරණයට කරුණු ඉදිරිපත් නොවූ බවයි. එසේම වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ තමන් මේ සම්බන්ධයෙන් දැඩි ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට නියමිත බවකි. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කර සිටියේ  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිවන අය මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට කැසකවන්නන්ගේ ව්‍යාපෘතියක කොටස්කරුවන් බවයි.

                      රාජිත ඇමතිවරයාගේ ප‍්‍රකාශය දේශපාලනය පිළිබඳ තොරොම්බල් වූවකු විසින් කරන ලද කබර මස් දඩමස් කරන ආකාරයේ ප‍්‍රකාශයක් බව පළමුවෙන්ම කිව යුතුව තිබේ. මෙය එක් අතකින් ඉදිරියේදී ආණ්ඩුවට එරෙහිව නැගීමට නියමිත විවිධ ආකාරයේ විරෝධතා ගැන ආණ්ඩුව කටයුතු කිරීමට සැරසෙන ආකාරය පිළිබඳ ඉඟියක් ලෙස සැලකීම නිවැරදිය. තම පාලනය සම්බන්ධයෙන් රට තුළ නැඟ එමින් පවත්නා ජනතා විරෝධය තම අකාර්යක්ෂමතාව සහ දේශපාලන අවස්ථාවාදයේ ප‍්‍රතිඵලයක්ය යන්න පිළිගනිමින් නිවැරදි ගමන් මගකට අවතීර්ණ වනු වෙනුවට ආණ්ඩුවද සැරසෙන්නේ තම සෙළුව වසා ගනිමින් ජනතා විරෝධයන් සියල්ල මහින්ද පාර්ශවයේ ආණ්ඩු විරෝධී වැඩ පිළිවෙල බවට ඌනනය කිරිමට බව මින් පැහැදිලි වෙයි. මේ වනාහී මහින්ද පාලනයේම අවියක් නැවත භාවිතා කිරීමක් හැර අන් යමක් නොවන බවත් ඒ ගැන ආණ්ඩුවේ වගකීම් විරහිත හැසිරීම විවේචනය කරන්නන් සැලකිල්ලට ගතයුතු බවත්  පළමුව කිව යුතුය.


සයිටම් අර්බුදය යනු ආණ්ඩුවේ මෙන්ම වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේද නිරුවත පෙන්වූ එමෙන්ම ශිෂ්‍ය දේශපාලනයේ අපරිණත බවද පෙන්වූ අවස්ථාවක් ලෙස සැලකිය යුතුය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ සයිටම් අර්බුදයේ ආරම්භය සිදුවූ අවස්ථාවේදී වෛද්‍යවරුන් සිටියේ මේ අර්බුදයේ  බරපතළකම නොදුටු සෙයිනි. සැබැවින්ම ප‍්‍රබල මැදිහත්වීමක් තුළ මෙය විසඳාගත හැකිව තිබූ ආරම්භක අවස්ථාවේදී ඔවුන් සිටියේ නිහඬවය. එය ඒ පාලන සමයේ බොහෝ පාර්ශව අනුගමනය කළ පිළිවෙතම විය. අනෙක් අතින් අන්තරය ඇතුළු පිරිස් සිටියේ සයිටම් අහෝසි කළ යුතුය යන දැඩි ස්ථාවරයෙහිය. වෛද්‍යවරුන්ගේ සංගමය ඒ සටන් පාඨය අතට ගන්නේ පසුව විශේෂයෙන්ම තමන් රාජිත සේනාරත්න ඇමති සමග හබයක් පටන් ගැනීමෙන් පසුවය. එහෙයින් එය එක්තරා ආකාරයකට කෝන්තර පිරිමැහීමක් බව ජනතාවට පෙනෙතොත් එහි වරදක්ද නැත.

                      කෙසේ වෙතත් අප සයිටම් අර්බුදය  සැලකිය යුත්තේ රටේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් පවත්නා දැඩි වියවුල් සහගත බව පෙන්වන අවස්ථාවක් ලෙසටය. අධිකරණ තීන්දුවේ නිවැරදිභාවය ගැන කතා කරනා පිරිස් අමතක කරන කරුණ වන්නේ මෙයයි.
සයිටම් අර්බුදය විසඳා ගැනීමේ දී දෙපාර්ශවයම තම තමන්ගේ මතවල පිහිටා හැකි සෑම ආකාරයකින්ම තම අදහස් ජයග‍්‍රහණය කරවා ගැනීමට තැත් දැරුවා මිස රටේ අධ්‍යාපන ක‍්‍රමය කෙසේ විය යුතුද යන්න ගැන සිතා බැලූවේ නැති. අසූව දශකයේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය සමහන් වූ පසුව ගෙවුන කාලය තුළ රටේ අධ්‍යාපන ක‍්‍රමය තුළ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් බොහෝ පාඨමාලාවන් පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යාම සිදු වූ අතර වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් ගත් කල කොතලාවල ආක්ෂක පීඨයේද වෛද්‍ය විද්‍යා පාඨමාලා ආරම්භ කරනු ලැබිණි.

                                       විවෘත ආර්ථික ක‍්‍රමයට බර තබන ක‍්‍රමයක අධ්‍යාපනය යන්න මුළුමනින්ම ආණ්ඩුව යටතේ පැවතිය යුතුය යන්න තාර්කික නොවන්නකි. සැබැවින්ම නම් විය යුතුව තිබුණේ රටේ අධ්‍යාපන ක‍්‍රමය පිළිබඳ පොදු ප‍්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සහ රජයේ මෙන්ම පෞද්ගලික අංශයේද අධ්‍යාපන ආයතන විධිමත් නියාමනයක් සඳහා වන වැඩ පිළිවෙලක් සැකසීමයි. වර්තමාන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පවතින ප‍්‍රධානම ගැටළුව වී ඇත්තේ එයයි. අදවන විට බොහෝ වෛද්‍යවරුන් ඇතුළු පිරිස් සිටිනුයේ මාලබේ වෛද්‍ය විද්‍යාලය අහෝසි කල යුතුය යන මතයට වඩා එය ඇතුළුව අධ්‍යාපනය සඳහා විධිමත් නියාමනයක් තිබිය යුතුය යන මතයෙහිය.

විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව වැනි ජන ජීවිතය හා බැඳුන වෘත්තියකදී මේ තත්ත්වය ඉතා වැදගත් වෙයි. එහෙයින්  වෛද්‍ය නිලධාරි සංගමය ඇතුළු සයිටම් විරෝධී පෙරමුණ කළ යුතුව තිබුණේ එය විධිමත් නියාමනයක් යටතට පත් කර වඩා විනිවිද පෙනෙන ක‍්‍රමයක් ඇති කිරීම සහ ඒ අතරම රජයේ සරසවි අධ්‍යාපනයද දැන් පවත්නා අරාජික තත්වයෙන් මුදා ගැනීමට මැදිහත් වීමයි. සයිටම් ඇති කිරීමේදී ඒ පාර්ශවයෙන් ඉදිරිපත් කෙරුණ ප‍්‍රබලම තර්කයක් වූයේ තම අරමුණ විශාල මුදලක් ගෙවා පිටරට අධ්‍යාපනය ලබන අයට සාධාරණ මිලකට එය ලබා දීම බවයි. එහෙත් අප දන්නා සත්‍යය වනුයේ මාලබේ වෛද්‍ය විද්‍යාලයේ අය කරන ගාස්තුවට වඩා බොහෝ අඩු ගාස්තු යටතේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය සපයන සරසවි ආසියාතික ඇතුළු රටවල තිබෙනා බවයි. එහෙයින් මෙය එක්තරා ආකාරයකට රටේ ජනතාවගේ මුදල් අසාධාරණ ලෙස කඩා ගැනීමකි. විය යුතුව තිබුණේ අප රටේ අය කරනා ගාස්තු අන් සියළු රටවලට වඩා අවම මට්ටමක පැවතීමයි. එහෙත් එය සිදුව නැත.

                                   අනෙක් අතින් රටේ උසස් අධ්‍යාපන ආයතන අවම වශයෙන් ආයෝජන මණ්ඩල ව්‍යාපාරික ව්‍යාපෘති නොවිය යුතුබවත් අධ්‍යාපනය යනු වෙලඳ භාණ්ඩයක් නොව රටේ යහපත පිණිස වන වැදගත් ආයෝජනයක් බවත් අපේ බලධාරීන් තේරුම්ගත යුතුව තිබුණි. එහෙත් එය අපේ දේශපාලකයන් මෙන්ම නිලධාරී පැලැන්තියද වටහා ගත්තක් නොවේ. මෙවන් තත්ත්වයකදී සයිටම් නොව කවර ආයතනයක් වුව විධිමත් නියාමනයක් නොමැතිව පවත්වාගෙන යාමට ඉඩදීම යනු ජාතික අපරාධයක් වීම වැළැක්විය නොහැකිය. එහෙයින් කළ යුතුව තිබුණේ සියළු පාර්ශව එක්ව ඒ සඳහා වන පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සහ එකඟතා ඇති කර ගැනීමයි. ඒ වෙනුවට දැන් සිදුව ඇත්තේ අධිකරණ නියෝගයක පිහිටෙන් සයිටම් සම්මත වීම සහ තවත් දුර යන අර්බුදයක් ආරම්භ වීම පමණි.

                            එහෙයින් මේ අවස්ථාවේදී වෛද්‍ය සභාව, අධ්‍යාපන බලධාරීන්, වෛද්‍යවරුන්ගේ සංගමය, අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය මෙන්ම සයිටම් සිසුන්ගේ පාර්ශවයද අදාල ආයතනය සම්බන්ධ අර්බුදය පාර්ශවිකව නොබලා රටේ සමස්ත අධ්‍යාපනයේම අනාගතය වෙනුවෙන් විධිමත් වැඩ පිලිවෙලක් යටතේ උසස් අධ්‍යාපන ආයතන පවත්වා ගැනීම පිලිබඳ වැඩපිලිවෙලක් සැකසීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයිි. එහිදී ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනය පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති එසේම දැක්මක්ද සහිත පිරිස් සම්බන්ධ කර ගනිමින් සයිටම් ආයතනයේ පවත්නා අවිධිමත්භාවය සහිතවම එය පවත්වාගෙන යාමට අධිකරණ නියෝගය කඩතුරාවක් කර ගැනීමට ඉඩ නොදී එය පමණක් නොව දැනට පවත්නා කොතලාවල වෛද්‍ය පිඨයද ඇතුළුව අනාගතයේදී ඇති වීමට නියමිත උසස් අධ්‍යාපන ආයතනද විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ නියාමනයට යටත් කරන ආකාරයේ (ඒ සමගම එකී කොමිසමද වඩා දියුණු ආයතනයක් බවට පත් කිරීමට ඇති බාධා ඉවත් කරමින්) වැඩ පිළිවෙලක් සැකසීම සහ රටේ පුද්ගලික අධ්‍යාපනය කළුු කඩ ව්‍යාපාරයක තත්ත්වයෙන් මුදවා සාධාරණ ගාස්තු ක‍්‍රමයකට යටත් කරන වැඩ පිලිවෙලක් ගැන මැදිහත් වීම අද අවශ්‍යතාව වී තිබේ.

                                පෞද්ගලික සේවයෙහි යෙදී මුදල් ඉපයීමට වෘත්තිකයන්ට ඉඩ සලසන ක‍්‍රමයක වෛද්‍ය විද්‍යාලය පමණක් ආණ්ඩුව යටතේ තබා ගැනීමට ඉල්ලීම අතාර්කික දෙයකි. ඒ සමගම පුද්ගලික අධ්‍යාපනයට ඉඩ සැලසීම යනු මුදල් ගසා කන ව්‍යාපාරයක් සඳහාවන බලපතක්ද නොවිය යුතුය. නියාමනය යන්න මෙහිදී අනිවාර්ය කොන්දේසිය විය යුතුය. එය හුදෙක් සයිටම් ආයතනයට පමණක් අදාළ වන්නක් නොවිය යුතුය. දැනට පවත්නා මෙන්ම අනාගතයේදී ඇති වන්නාවූද ආයතන මේ නියාමනය යන්නට ඉඳුරාම යටත් විය යුතය. සෑම පාර්ශවයක්ම කල යුතුව ඇත්තේ ෂයිලොක් න්‍යායේ සිටීම නොව රටේ යහපත උදෙසා වඩා විධිමත් අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සඳහා සයිටම් අර්බුදය ප‍්‍රවේශය කර ගැනීමයි.



-නුවන් උදය වික‍්‍රමසිංහ.




MOST VIEWED VIDEO STORIES

MORE >>