Back to Top

ඉදින් සාහිත්‍ය මාසය පැමිණ තිබේ..

September 7, 2016  


යළිත් සැප්තැම්බර් මාසය එළඹ තිබේ. සාහිත්‍යය යන මාතෘකාව ඒ අනුව නැවත වරක් පෙට්ටගම් වලින් එළියට ඇදෙන්නට නියමිතය. සාහිත්‍ය සංකථන, දේශන, සංවාද, විවාද පමණක් නොව සාහිත්‍ය කෝලාහල පවා ඒ අනුව ඇති වීමට නියමිතව තිබේ. දැනටමත් පහලවෙමින් පවතින ලකුණු අනුව මෙවරද ස්වර්ණ පුස්තක සම්මානය අරභයා ප‍්‍රබල ආරෝවක් ඇතිවන බව නිසැකය. එය ආරම්භව ඇත්තේ කෘතීන් දෙකක් විනිශ්චය සඳහා තෝරා නොගෙන ඉවත් කිරීම සමගිනි. දැන් අවසන් වටයට අදාල කෘති පහ තේරීමත් සමග අවසන් විනිශ්චය සම්බන්ධයෙන් ඇති වන්නට නියමිත කතා සහ අවලාද කෙතරම්දැයි අපට ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත.
 
    ස්වර්ණ පුස්තක සම්මාන උළෙල යනු ලංකාවේ නවකතාව සම්බන්ධයෙන් ප‍්‍රබල උත්තේජනයක් ඇති කිරීමට ඉවහල් වූ ප‍්‍රධානම සම්මානය ලෙස සැලකීම නිවැරදිය. එසේම ඒ වනාහී සාහිත්‍යයේ උන්නතියට වඩා ව්‍යාපාරික උපාය මාර්ගයක් ලෙස ඉදිරිපත් කෙරුණ ව්‍යාපෘතියක් ලෙස සැලකීමද අතාර්කික නොවේ. ලංකාවේ සාහිත්‍යයේ උන්නතිය තකා ප‍්‍රකාශකයන් අවංකව මැදිහත් වන්නේ නම් ඔවුන් කළ යුතුව තිබුණේ නවකතාව පමණක් වෙනම ගෙන සම්මාන උළෙලවල් පැවැත්වීම නොව සාහිත්‍යයේ සියළු අංගයන් විධිමත් ඇගයීමකට ලක් කර නවකතාවට දෙන ආකාරයටම සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනමන විකල්ප සාහිත්‍ය උත්සවයක් සංවිධානය කිරීමයි. එනමුදු ඒ වෙනුවට දිගින් දිගටම සිදුවෙමින් පවතින්නේ ස්වර්ණ පුස්තකයට අපේ ප‍්‍රකාශකයන්ගේ වැඩපිළිවෙල සීමා වීමයි.

                    එසේම ඔවුන් සාහිත්‍ය මාසයේ මහත් උත්කර්ෂවත් අන්දමින් පවත්වන දැවැන්ත පොත් ප‍්‍රදර්ශනයද සාහිත්‍යයේ උන්නතියට හේතු වන්නකට වඩා වැඩියෙන් බර තබන්නේ ලාභ ආන්තිකය වැඩි කිරීමට බව වසරින් වසර පෙනෙන කරුණක්ව තිබේ. කෙසේ වෙතත් මේ වැඩපිළිවෙළ දෙකම එහෙම පිටින්ම නිෂ්ඵල යයි පිටු දැකිය යුතු අවස්ථා නම් නොවේ. ඒ වෙනුවට කළ යුතුව ඇත්තේ සාහිත්‍යකරුවන් ඇතුළුව මැදිහත්වීමේ හැකියාව ඇති සියල්ල ප‍්‍රකාශකයන්ගේ සංගමය සමග සාකච්ඡා කරමින් සහ බලපෑම් කරමින්මේ ක‍්‍රියාවලීන් වඩා සාධනීය තැනකට ගැනීම සඳහා උත්සාහ දැරීමයි.


    වාර්ෂිකව පැවැත්වෙන පොත් ප‍්‍රදර්ශනයේදී වැඩියෙන්ම අලෙවි වන කෘති පිළිබඳව විශේෂ සමීක්ෂණයක් කිරීම ඉතා වැදගත් කරුණකි. මේ ලියුම්කරුගේ නිරීක්ෂණය අනුව නම් වැඩියෙන්ම එහි විකිණෙන්නේ සාහිත්‍ය පොතපතටත් වඩා කෙටි සටහන් පොත් සහ අධ්‍යාපන පොත් පත්ය. අනෙක් අතින් ප‍්‍රදර්ශනයෙන් පොත් ගැනීමට එන පාසල් ගුරුවර ගුරුවරියන් ගේ අත්වල තිබෙන පොත් ලැයිස්තු දකින සමහරවිට දුක සිතෙන තරම්ය. ලෝකයේ නව සාහිත්‍ය ප‍්‍රවණතා තබා ලංකාවේ සාහිත්‍ය සම්බන්ධයෙන් පවා ඔවුන් තුළ ඇති නොදැනුම බොහෝ විට ඔවුන්ගේ පොත් ලැයිස්තු බලන විට පෙනී යයි. දැනට වසර දෙකකට පමණ පෙර මේ පොත් ප‍්‍රදර්ශනයේදී ලද අත්දැකීමක් මගේ මතකයට නැගෙයි. එක්තරා පාසලක දැරියන් පිරිසක් එවර සිය ගුරුවරියන්ද සමග පොත් ගැනීමට පැමිණට සිටියහ. දෙපිරිසම පොත් තෝරාගත් අතර දැරියන් අතර තිබූ පොත් ගොඩ තුළ විශ්ව සාහිත්‍යයේ මහඟු කෘති ගණනාවක්ම තිබෙනු දක්නට ලැබුණි. අවසන ඔවුන් තම තේරීම් සිය ගුරුවරියන්ට පෙන්වූ අවස්ථාවේ ගුරුවරියන් කළේ ඒවා වැඩක් නැතැයි පසෙකට කර සරල පෙම් කතන්දර පොත් ටිකක් තෝරා ගැනීමයි. එවේලේ අර දැරියන්ගේ මුහුණේ වූ පෙනීම විස්තර කිරීමට මට අදටද වදන් නැත. මේ අප අත්විඳිනා අවාසානාවේ එක් පාර්ශවයක් පමණි.


    මෙහි අනෙක් පැත්ත වනුයේ සාහිත්‍ය මාසය අරභයා පැවැත්වෙන සාහිත්‍ය උත්සවයන්ය. රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් රට පුරා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල මගින් පැවැත්වෙන සාහිත්‍ය උත්සවවලින් බහුතරයක අප දකින්නේ හුදෙක් නිල නියමයෙන් ගැලවීම සඳහා කෙරෙන ඒකාකාරී වැඩ සටහන් කිහිපයක් පමණි. තෝරාගත් තරග කිහිපයක් පැවැත්වීම, ත්‍යාග ප‍්‍රදානයක් සමග සංස්කෘතිකාංග කිහිපයක් ඉදිරිපත්කරමින් කෙරෙන සම්ප‍්‍රදායික උත්සවයන් මිස ඒ උත්සවයෙන් අරඹා ඊළඟ සාහිත්‍ය මාසය දක්වා දිවෙන දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ගැන සිතන ආයතන ඉතාමත්ම අල්පය. එහෙයින් ම අපට සැප්තැම්බරය යනු හුදෙක් වසරකට වරක් එන තවත් මාසයක් පමණකැයි සිතෙන තරමටම සාහිත්‍ය ප‍්‍රබෝධය අතින් ඇත්තේ ඇල්මැරුණ ස්වභාවයකි.


    ඉදින් මෙවන් වාතාවරණයක් මැද දක්නට ලැබුණ වෙනස් ආකාරයක සාහිත්‍ය උත්සවයක් ගැනද ලියා තැබිය යුතු යයි මට මෙවර සිතෙයි. ඒ මාතලේ දිස්ත‍්‍රික් සාහිත්‍ය උළෙල පිලිබඳවය. එය මෙවර සංවිධානය කර තිබුණේ දින තුනක උත්සව වැඩ සටහනක් ලෙසිනි. ආරම්භක දිනයේ ඊට ආචාර්ය ඩබ්. ඒ . අබේසිංහ මහතා සහභාගිවූ අතර අවසන් දින වැඩ සටහන හමාර කරන ලද්දේ රත්න ශ‍්‍රී විජේසිංහ විසිනි. මෙහි දක්නට ලැබුණ වැදගත්ම ලක්ෂණයක් වූයේ මාතලේ දිස්ත‍්‍රික්කයේ සාහිත්‍යධරයන් මෙකී උත්සවය සඳහා දැරූ උනන්දුවයි. මාතලේ මහ නගර සභා පුස්තකාල කමිටුව,දිස්ත‍්‍රික් සාහිත්‍ය කලා සංසදය දිස් ති‍්‍රක් ලේකම් කාර්යාලය සමග සම්බන්ධ වෙමින් සංස්කෘතික නිලධාරීන්, හවුල් කරගෙන සංවිධානය කරන ලද සාහිත්‍ය උළෙල සැබැවින්ම ඉතා ඉහල මට්ටමක පැවතුණි. මෙහි ඇති ඉතාම වටනා දෙය නම් සිංහල මෙන්ම දෙමල සාහිත්‍ය උළෙලක් එකම වර පැවැත්වීමයි. එහිදීද උළෙලවල් දෙකෙහිම දෙමල නර්තනාංගයක් සිංහල කණ්ඩායමක් විසින් ඉදිරිපත් කිරීම සංස්කෘතිකාංගයන්ට ගහමරාගත් යාපනය සරසවි අත්දැකීමේ අපුල මග හරවන්නට සමත් වුණි. සිංහල, දෙමල, මුස්ලිම් බේදයක් නොදැනෙන පරිදි අදාළ උත්සවය සංවිධානය කර තිබීම ගැන සියළුම සංවිධායකවරුන්ට අපේ කෘතවේදීත්වය හිමිවිය යුතුය. විශේෂයෙන්ම ජනවර්ගයන් තුනම දිවි ගෙවන පලාතක මෙලෙස වෙනස්කම් වලින් තොර සාහිත්‍ය උළෙලක් පැවැත්වීම යනු සැබැවින්ම ප‍්‍රශංසනීය කටයුත්තකි.

    මාතලේ පුස්තකාලය තුළ ප‍්‍රදේශයේ ලේඛකයන්ගේ කෘතීන් සඳහා කුටියක්ද විවෘත කරනු ලැබූ අතර එය ලේඛකයන්ගේ නොමද ඇගයුමට ලක්වන අයුරක්ද දක්නට ලැබුණි. පියදාස වැලිකන්නගේ වැනි ජ්‍යෙෂ්ඨ ලේඛකයන් මෙන්ම, සුජාතා අලහකෝන් වැනි දෙශපාලනය මෙන්ම සාහිත්‍ය ගැනද උනන්දුවන්නන් ඇතුළු බොහෝ දෙනෙක් මාතලේ සාහිත්‍ය උළෙල සාර්ථක කර ගැනීමට දැරූ තැත දකින විට අපට පෙනුනේ අගනගරයෙහි ඇති සාහිත කෝලාහල වලින් මිදී ප‍්‍රාදේශිකව කෙතරම් වැඩ කිරීමට විභවයන් තිබෙන්නේද යනුය. දෙමල සිංහල දෙපාර්ශවය මේ සාහිත්‍ය උත්සවය සමග සහයෝගයෙන් බැඳී කටයුතු කළ ආකාරය පැමිණ සිටි සියල්ලන්ටම ඉතිරි කළේ සුන්දර මතකයකි.
 
    මා තුළ ඇති සියලුම යහපත් දෙයට මා ණය ගැති වන්නේ පොත්පත්වලට යයි ලෝක පූජිත මැක්සිම් ගෝර්කි සිය සටහන්හී වරෙක ලියා තැබීය. කිසිදා විධිමත් පාසල් අධ්‍යාපනයක් සඳහා වරම් නොලද මේ ලෝක පූජිත මිනිසා මනුෂ්‍යත්වයට පේ‍්‍රම කිරීමට උගත්තේ පොත පත ඇසුරු කිරීමෙනි. එහි අවසන් ප‍්‍රතිපලය වූයේ මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කළ සාහිත්‍යධරයෙකි. එහෙත් අපේ රට ගෙවෙන වසරක් ගානේ රටෙහි අනාගත පරපුර කොටු කරමින් ඉන්නේ පෙළ පොත් කන්දකට මිස සාහිත ඇසුරට නොවේ. අප මෙහි ප‍්‍රතිඵලය භුක්ති විඳිමින් ඉන්නේ සමාජ පරිහාණියක ඛේදය සමගිනි. ඉදින් සාහිත්‍ය මාසයෙහිදී අප පොදුවේ ජාතියක් ලෙස අවධානය යොමු කළ යුතුව ඇත්තේ මෙයටය. අප එයට සූදානම් නොවන්නේ නම් ඊළඟ සැප්තැම්බරයේදීද අපට හමුවනු ඇත්තේ ඉදිරිය බලාගෙන රිවර්ස් ගියරයේම යන ප‍්‍රජාවක් පමණි. සාහිත්‍ය මාසය අප ඉවහල් කරගත් යුත්තේ සම්මාන පොරයන්ට නොව පොතපත ඇසුරු කරනා මිනිසුන්ගෙන් සපිරි සමාජයක් බිහිකර ගැනුමටය. එය සාහිත්‍ය කටයුත්තක් වන තරමටම දේශපාලන කටයුත්තක්ද වන බව අප කිසිසේත් අමතක නොකළ යුතුය.



-නුවන් උදය වික‍්‍රමසිංහ



MOST VIEWED VIDEO STORIES

MORE >>