Back to Top

සංවිධානයවීම හැර විකල්පයක් නැත

January 11, 2017  


පසුගිය දිනෙක පැවති හිටපු අමාත්‍යවරයකුගේ දරුවකුගේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වූ රටේ ප‍්‍රවීණ කලාකරුවෙක් තමන් එහිදී අත්දුටු දෑ පවසා සිටියේ මහත් කලකිරීමෙනි. නව ආණ්ඩුවේ සහ පැවති ආණ්ඩුවේ කෙරුම්කාරයන් එකට එක්ව සාද සාමීචියේ සිටි ආකාරයත් එහිදී ප‍්‍රසිද්ධියේම හිටපු ජනපතිවරයා හට ඔහුගේ අන්තේවාසිකයන් අපේ ජනාධිපතිතුමා යනුවෙන් ආමන්ත‍්‍රණය කළ ආකාරයත් පවසා සිටි ඔහු පල කළ අදහස වූයේ තමන් ඇතුළු සියලුදෙනා මහත් කැපවීමෙන් සිදු කළ වෙනසෙහි අවසන් ශේෂපත‍්‍රය සීඝ‍්‍රයෙන් ශුන්‍ය වෙමින් පවතින බව ඉතා පැහැදිලිව දක්නට ලැබෙමින් තිබෙන බවයි.


මේ එක් පුද්ගලයෙකුගේ කලකිරීම නොවේ. සමස්ත රටෙහිම ඇතිවෙමින් පවත්නා තත්ත්වය එයයි. ජනවාරි අට වෙනසට දායකවූ හැම දෙනාටම දැනෙමින් පවතින මහත් පිලිකුල එයමය. මෙය කෙතරම් තීව‍්‍ර වී ඇත්ද යත් අගමැති සහ ජනපති යන දෙදෙනාම ජනතාව ඉදිරියේ විහිළුකාරයන් සහ රැවටිලිකාරයන්බවට පත්වන තරමටම ඔවුන් දෙදෙන ඇතුළු නව ආණ්ඩුවේ තත්වය හෑල්ලූ වෙමින් පවතී.


දෙදහස් දහහතේදී ආණ්ඩු බලය තමන් අතට ගන්නා බව ජනතාව විසින් පිළිකෙව් කරන ලද ජනතා නියෝජිතයන් කියා ගන්නා ඊනියා ඒකාබද්ධ විපක්ෂය පාරම් බාන්නේ මෙවන් තත්ත්වයක් යටතේය. පසුගියදා සිංහ නාදයක් විලසින් හිටපු ජනපතිවරයාද මෙයම ප‍්‍රකාශ කර තිබිණි. ඔහු ඒ ප‍්‍රකාශය කර තිබුණේ තමන්ගේ සමස්ත දේශපාලන ඉතිහාසය තුළම බලය සඳහා තමන් විසින් දියත් කරන ලද කුප‍්‍රකට ක‍්‍රමවේදය පිළිබඳ ඉඟියක්ද සමගිනි. ඒ බලතුලනයේ වෙනසක් ඔළු ගෙඩි මාරුව හරහා සිදු කිරීම මගින් තමන්ට බලය ලබා ගත හැකි බවක් අඟවමිනි. ඒ අතරම ඔහු තවත් ප‍්‍රකාශයක් මගින් කියා තිබුණේ හම්බන්තොට ඉඩම් චීනයට පවරා දීම සම්බන්ධයෙන් තමක් දැඩි සේ විරුද්ධ බවකි. අද මෙසේ කියන්නේ තම පාලන සමය තුළ චීනයේ දෙපතුල අසල වැටී පෝට් සිටිය ඇතුළු තවත් බොහෝ මර උගුල්වලට රට ඇද දැමූ පාලකයකුම වීම මහත් විහිළුවකි. ඒ අනුව යළිත් වරක් ඉතිහාසයේ එකම සිදුවීම විහිළුවක ස්වරූපයෙන් නැවත සිදුවන අවස්ථාව එළඹෙමින් තිබෙන බව කිව හැකිය. හෙට දවසේදී නැවත වරක් රටේ සම්පත් කොල්ලයකට එරෙහිව යයි කියමින් ඊනියා ඒකාබද්ධ විපක්ෂය වීදි බසින්නේ නම් එය විමතියට කරුණක් නොවනු ඇත්තේය.

පත් කරනු ලැබ වසර දෙකක් ඉක්මයන විටම හිටපු ආණ්ඩුව හා සමානවම අපට නව ආණ්ඩුව ගැනද පිළිකුල දැනෙන්නේ ඇයිද යන්න අප කල්පනා කර බැලිය යුතුව තිබේ. නව ආණ්ඩුව පත් කරන විටමත් ඒ සඳහා කැපවුන සියල්ලටම මේ පත්වන්නේ තමන් අපේක්ෂා කළ ආණ්ඩුවම නොවන බවට පැහැදිලි අවබෝධයක් තිබිණි. එහෙත් තමන්ගේ මහන්සියෙන් බලයට එන පිරිසේ පරිහාණිය මේ තරම් සීග‍්‍ර එකක් වනු ඇතැයි කියා නම් කසිවකුත් නොසිතන්නට ඇතුවා නිසැකය. ආරම්භයේ සිටම ජනපතිවරයා මෙන්ම අගමැතිවරයාද ආණ්ඩුව තුළ තම බල කඳවුර ශක්තිමත් කිරීම පිණිස සූක්ෂම ලෙස ක‍්‍රියාත්මක කළ වැඩ සටහන් හරහා සිදුවෙමින් පැවති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පියවරයන්හී අවසන් ප‍්‍රතිඵලය වී ඇත්තේ අදවන විට  ජනතාවට එදා සිටි අය තරමටම අද ඉන්නා අයද එපාවී යන තත්වයක් ඇතිවීම පමණි.

ජනපතිවරයා පුන පුනා කී එක් දෙයක් වූයේ තමන්ගේ කැපවීම මත නව ආණ්ඩුවට තුනෙන් දෙකක් ලබා ගැනීමට හැකිවූ බවයි. එහෙත් ඒ තුනෙන් දෙක සඳහා දෙන ලද කප්පම්හී බරපතළකම අද වනවිට පෙනෙන්නට පටන් ගෙන තිබේ. ජනතාව විසින් පිළිකෙව් කරන ලද ඇතැම් දේශපාලකයන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද ජනවාරි අට වෙනිදා අභිලාෂයන්ට පටහැනිවන ආකාරයේ උද්දච්ච ප‍්‍රකාශ නිකුත් කරන විට ඒ වෙනස වෙනුවෙන් කැපවුණ ජනතාවට දැනෙන පිළිකුල සහ කලකිරීම ගැන අගමැතිට මෙන්ම ජනපතිටද වගේ වගක් නැති බව ස්ථිරය. විශේෂයෙන්ම ජනපතිගේ මෙන්ම අගමැතිගේද බල හරඹය හමුවේ රට තුළ නැවත වරක් ජාතිවාදීන් සහ ආගමික අන්තවාදීන් හිස ඔසවන ආකාරයත්, දිගු කලක් වැළලී පැවති මහා අපරාධයන් පිලිබඳ යුක්තිය ඉටුවීමේ අපේක්ෂාවන් සීඝ‍්‍රයෙන් වියැකී යන ආකාරයත් රටේ සැබෑ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවුන බහුතර ජනතාවකගේ මතය තුට්ටුවට දමමින් ජනපතිවරයා රට විනාශ මුඛයට ඇදදැමූ බලවේග වෙත සවන් යොමන ආකාරයත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසක් ඉල්ලා සිටි බහුතර ජනයාගේ අපේක්ෂා බිඳ දමමින් මහනායක හිමිවරුන් හමුවේ උන්වහන්සේලාට නොපෙන්වා නව ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරියට නොගන්නා බවට පිලින දෙන ආකාරයත් නරඹන විට අපට පෙනෙන්නේ ජනතා අපේක්ෂාවන් වලලා දැමීමට කැපෙනා ආගාධයක සෙවනැලිහැර අන් යමක් නොවේ.

රටක පාලකයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන් වෙනුවට කුමන්ත‍්‍රණයන් තම බලාධිකාරය පවත්වා ගැනීමට භාවිතා කරන්නේ නම් අවසන් ප‍්‍රතිඵලය වනු ඇත්තේ විනාශයම බව ඉතිහාසය යළි යළිත් ඔප්පු කළ සත්‍යයකි. මෙය අවසන් වරට ඔප්පු කර සිටියේ මහින්ද රාජපක්ෂ බල කඳවුරම බවට අපේ මෑත කාලීන දේශපාලන ඉතිහාසය සාක්ෂි දරයි. එහෙත් ඉන් පාඩමක් ඉගෙන නොගන්නා මහින්ද පිල නැවත නැවතත් උත්සාහ දරන්නේම තම සුපුරුදු උපක‍්‍රමය වන කුමන්ත‍්‍රණයන්ම භාවිතා තිරීමටය. තමන් ආප්ප  න්‍යායම භාවිතා කරන බවට ප‍්‍රසන්න රණතුංග පුන පුනා පවසන්නේ ඒ නිසාවෙනි. එවන් තත්වයක් යටතේ ආණ්ඩුව අවංක නම් කළ  යුත්තේ ජනතාව සංවිධානය කිරීමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව කුමණ්ත‍්‍රණ පරාජය කළ හැක්කේ එමගිනි. එහෙත් නව ආණ්ඩුවද පත්වූ දා සිටම භාවිතා කළේ ඒ සම්ප‍්‍රදාය නොව ගේම් න්‍යායමය. දැන් එහි ආ හැකි උපරිමය පැමිණ සිටින අතර තමන්ගේ අයහපාලන උපක‍්‍රම තුළම සිරවීමේ අනතුරක ආණ්ඩුව මුහුණ දී සිටී. මෙවන් මොහොතක විචක්ෂණ ලෙස ගත හැකි පියවර වන්නේ සිදුවූ වැරදි පිළිබඳව අවංකව කණගාටුවෙමින් නව හැරවුමක් ගෙන යළි ජනතාවට සත්‍යය පවසමින් ඔවුන් සංවිධානය කිරීම වුවද ඒ වෙනුවට ආණ්ඩුව කරමින් ඉන්නේ තමන් සමග සිටි සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු සහයෝගී පාර්ශව ඉතා සියුම් ලෙස ඈත් කරමින් තව තවත් ගේම් න්‍යායෙන්ම ගොඩ යාමට තැත් කිරීමයි. මෙහි අවසන් ප‍්‍රතිඵලය වනු ඇත්තේ ඒකාබද්ධ විපතක්ෂය කියනා රංචුව මෙන්ම ආණ්ඩුවද සිරවීම පමණි.  

මේ දෙපාර්ශවයේම සිරවීම යනු අනිවාර්යයයෙන්ම ජනතාවට බරපතළ ප‍්‍රතිවිපාක දනවන දෙයක් වනු නිසැකය. එහෙයින් තවත් කල් අසංවිධානාත්මකව සිටීම යනු ජනතාවගේ පැත්තෙන් බලන කල මාරාන්තික වරදක් වනු ඇත. දේශපාලකයා හට කෙතරම් ලෙහෙසියෙන් තම  ප‍්‍රතිපත්ති මාරු කළ හැකිද යන්න මෑත ඉතිහාසය තුළ පෙන්වාදී ඇත්තේ වරක් දෙවරක් නොවේ. එහෙයින් එවන් දේශපාලන වවුලන් ගැන විශ්වාසය තබනු වෙනුවට තමන්ම ඉදිරියට පැමිණ ජනතාව සංවිධානය කිරීමේ කාර්යයට පුරවැසියන් අත තැබිය යුතු අවස්ථාව එළඹ තිබේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඉතා අවම පොදු එකඟතාවන් පමණි. ඒ රටේ අනාගතය වෙනුවෙන් කා හටත් එකඟ විය හැකි කරුණුුම විය යුතුය. තව දුරටත් ජනතා මතයට පයින් ගසා ඉවත හැරෙන්නට දේශපාලකයාට නොහැකි වන්නේ ජනතාව එසේ ශක්තිමත් ලෙස සංවිධානය වන්නේ නම් පමණි. එහෙයින්ම අප 2017 වසර කැප කළ යුත්තේ එවන් කාර්යයකටය. අපේ අනාගතය වෙනුවෙන් අපම සංවිධානය වීම හැර අන් විකල්පයක් අපට නැත යන අවබෝධයෙන් යුතුව නව වසර ඇරඹීමට අපට හැකි නම් අප ඉදිරියේ ඇති බොහෝ බාධක පරදවාලීමට අපට හැකි වනු ඇත.


-නුවන් උදය වික‍්‍රමසිංහ



MOST VIEWED VIDEO STORIES

MORE >>