Back to Top

විජය නන්දසිරි නික්ම ගිය පසු!

August 18, 2016  


පසුගිය දින ගණනාවම පාහේ ගෙවුනේ ලාංකීය කලා ක්ෂේත‍්‍රයෙහි ප‍්‍රකට චරිතයක් වූ විජය නන්දසිරිගේ නික්ම යාම පිළිබඳ කතා බහ අතුරිනි. සෑම මාධ්‍යයකම පාහේ ඔහුගේ වියෝව පිළිබඳව ලියවුණ ලිපි  හා පුවත් වෙනුවෙන් සැලකිය යුතු ඉඩක් වෙන් කළ ආකාරයද අපට දක්නට ලැබිණි. සැබැවින්ම ඔහුගේ වෙන්ව යාම ලාංකීය සමාජය තුළ කම්පනයක් ඇති කළ  බව පැහැදිලිය. එසේම රටෙහි සිටි දක්ෂ රංගධරයකු අපට අහිමි වූ බවද ඒ සමගම ඉතා පැහැදිලිය. එහෙත් ඒ සමගම විජය නන්දසිරි නම් රූපණවේදියාගේ රංග චාරිකාව මෙන්ම ඔහු ලාංකීය රසික ප‍්‍රජාව අතර හිමිකරගෙන සිටි ස්ථානයද වර්තමාන ලංකාවේ කලා භාවිතාවන්හි පවතින එක් ආකාරයක සැලකිල්ලට ගත යුතු පාර්ශවයක් අපට මතු කර දක්වයි.


    විජය නන්දසිරිගේ වියෝව ගැන පුවත සැලවූ මොහොතෙහි මම තම දිවියෙහි පස්වන හෝ හයවන දශකයන්හී පසුවන සැලකිය යුතු සංඛ්‍යාවකගෙන් විජය නම් රංගධරයා ගැන තමනට මතක ඇති ආකාරය විමසුවෙමි. ඒ අතරින් අති බහුතරය හැඳින සිටියේ විකට නළු විජය මිස මනමේ චරිතයට පණ දුන් විජය නොවේ. වත්මන් තරුණ පරපුරට එවන් විජය කෙනෙක් ගැන ඇසූ මතකයක් පවා නොතිබූ තරම්ය. මෙය විජය නන්දසිරිගේ පමණක් නොව ලංකාවේ කලා ක්ෂේත‍්‍රයෙහිද ඒක්තරා ආකාරයක ඛේදයක් චිත‍්‍රණය කරන්නකැයි මම සිතමි. එහෙත් එය විජය නම් වූ රංගධරයා තුළ සිටි කුසලතා පූර්ණ මිනිසා අවතක්සේරු කරන්නක් නම් නොවන බව පළමුව සටහන් කළ යුතුය. විජය නන්දසිරි නම් කලාකරුවා ලංකාවේ ප‍්‍රහසන කලාව තුළ එතෙක් පැවති  ඕලාරික රටාව බිඳ හෙළූ දැවැන්තයකු බව සටහන් කළ යුතුය. එහෙත් ඒ එක්තරා සීමාවකට යටත්ව පමණි. ගැටළුව ඇත්තේ එතනය.


    ඔහු ලංකාවේ වේදිකාවෙහි ප‍්‍රහසන කිරුළ තමන් සතු කර ගන්නේ එතෙක් පැවති එක්තරා ආකාරයක අධිකාරියක් බිඳ හෙළමිනි. එසේම එතෙක් පැවති ඒකාකාරීවූ රංග රටාවකටද අභියෝග කරමිනි. විජය නන්දසිරි නම් ප‍්‍රහසන ශිල්පියාගේ මතුවීමේ රහස ඇත්තේ මෙහිය. ඒ සාර්ථකත්වයට වේදිකාවේ සිටි දැවැන්ත මනමේ කුමරුගෙන්ද නොමඳ  පිටිවහලක් ලැබුණ බව ඉතා පැහැදිලිය. විජය නන්දසිරි ප‍්‍රහසන වේදිකාව ආක‍්‍රමණය කරන විට එහි ප‍්‍රමුඛයන් අතර ටෙනිසන් සහ බන්දු යන දෙදෙනා ඉදිරියෙන්ම සිටි බව අපට මතකය. එහෙත් දිගින් දිගටම වේදිකාව සහ සිනමාව තුළ ඔවුන් ගෙන ගිය රංගනයන් තිබුනේ ක‍්‍රමක‍්‍රමයෙන් පේ‍්‍රකෂකාගාරයට වෙහෙසකර වෙමිනි. ඉතා දක්ෂ චරිතාංග නළුවකු විය හැකිව තිබූ බන්දු වැනි නළුවකු පේ‍්‍රකෂකයා සිනහ ගැන්වීමට වේදිකාව මත දැරූ මහත් ආයාසකර ප‍්‍රයත්නයන්ට මෙන්ම ටෙනිසන්ගේ ඒකාකාරී රංගන රටාවන්හී සීමාවන් අතර විජයගේ සම්ප‍්‍රාප්තිය එක්වරම පේ‍්‍රක්ෂකාගාරය ආකර්ශනය කළ බව නොරහසකි. වේදිකාව මත මෙන්ම කැමරාව ඉදිරිපිටද ඔහුගේ සැහැල්ලූ රංගනය හරහා එක්වරම පේ‍්‍රක්ෂකයා අල්ලා ගැනීමට මෙන්ම ඔහු තුළ හාස්‍යය මතු කිරීමටද නොමඳ කුලතාවක් ඔහුට තිබුණි. මනමේ කුමාරයා යටකර එක්වරම   විකටයා මතු වන්නේත් මනමේ වෙසින් ඔහු වේදිකාවට එනවිටද පේ‍්‍රක්ෂකාගාරය බඩ අල්ලා සිනහ වන්නට පටන් ගන්නේත් ඔහු තුළ වූ මේ දක්ෂතාව හේතුවෙනි.

    එහෙත් ඔහුගේ රංගනයෙහිද සීමාවන් ලකුණුවන තරමටම ඔහු වේදිකාවෙහි අති සරල ප‍්‍රහසනයන්ට කොටුවීම මේ දැවැන්තයාට සිදුවූ ඛේදයකැයි මම සිතමි. ඔහු ජෝ අබේවික‍්‍රමගෙන් ගාමිණී ෆොන්සේකාගෙන් මෙන්ම ජයලත් මනෝරත්න වැන්නන් ගෙන්ද වෙනස් වන තැන එතනය. ඊට ඔහුගේ දැනුමෙහි දිග පළල මෙන්ම ලාංකීය වේදිකාව ඉතා සරල හාස්‍යයෙන් පිරවීමේ මාකට් සම්ප‍්‍රදායද ඉවහල් වූ බව නොරහසකි. අප දන්නා විජය නන්දසිරි සිය දිවියෙහි පරිණත අවධියට පැමිණෙන විට වේදිකාවෙහි, කැමරාව ඉදිරිපිට පමණක් නොව පුද්ගලික උත්සවවලද විකට අංගයන් ඉදිරිපත් කරන නළුවකු බවට පත්ව සිටි ආකාරය අපි දුටිමු. ඉන් ඇතැම් රංගනයන්හී අප දුටුවේ අන් බොහෝ නළුවන්ට කළ හැකි ආකාරයේ දෙපිට කැපෙනා විහිළු ඇතුළත් රංගනයන්ය. එහිදී ඔහුගෙන් ගිළිහුණේ සරල ප‍්‍රහසනයන් තුළ පවා මතු කළ හැකිව තිබූ ගැඹුරු සමාජ දේශපාලනයක අරුතය.

    එහෙත් විජය නන්දසිරි නම් කලාකරුවාහට සරල ප‍්‍රහසනයන්ටද ගැඹුරක් දිය හැකි බවත් සිනහව අතරින්ම කඳුළද මතු කළ හැකි බවත් අපට පෙන්වා දුන් එක් අවස්ථාවක් වනුයේ සිකුරු හතේ නම් ජනප‍්‍රිය සිනමා පටයයි. එහිලා විජය ගේ සාර්ථකත්වයට ඔහුගේ රංගනය මෙන්ම ගිරිරාජ්ගේ පිටපතද හේතු වූ බව සටහන් කළ යුත්තේ කලා ක්ෂේත‍්‍රය තුළ විජය නන්දසිරි නම් ප‍්‍රබලයා සීමාවීමට ඔහුගේ සීමා මෙන්ම පිටපත් රචකයන්ගේ සීමාවන්ද බලපෑ බව සඳහන් කරමිනි.

    චාලි චැප්ලින්ගේ අග‍්‍රගණ්‍ය කෘතියක් වන  මොඩර්න් ටයිම්ස් හී ආරම්භක දර්ශණ පෙළ මෙහිදී මගේ මතකයට එයි. එහි දැක්වෙන වැඩපොළ ශ‍්‍රම විභජනය නම් සංකල්පයට එල්ල කරනා අතුල් පහරක් වැනිය. එසේම එහි එන වැඩෙහි යෙදෙනා අතරම කම්කරුවාට ආහාර ගැනීමට සැලැස්වීම සඳහා අත්හදා බැලෙන යන්ත‍්‍රය පිළිබඳ දර්ශනයන් කම්කරුවා සූරාකැමට ලක් කිරීම සඳහා ධනවාදී සමාජය නිර්මාණශීලී වන ආකාරය ඉතා ප‍්‍රබල ලෙස විවේචනයට ලක් කරන්නකි. ඔහුම පසු කලෙක පැවසූ පරිදි මේ "ෆීඩින් මැෂිම" එකල නිපැයුම් ක්ෂේත‍්‍රයෙහි ඇති වෙමින් පැවති සංකල්පයකි. ඔහු වහා පහර දෙන්නේ ඊටය. එසේම ධාවනය වන පටියක වැඩෙහි නිරත කම්කරුවා ඒකාකාරී වැඩ රටාව හමුවේ ආතතියට පත්ව විනාශවන ආකාරය නිරූපණය හරහා චැප්ලින් ධනවාදයට සියුම්ව එල්ල කරනා පහර අපට අදටත් අමතක නොවන්නේ චැප්ලින් නම් නළුවා මෙන්ම සිනමාවේදියාගේ දක්ෂතාව සහ දේශපාලන දැක්මද සිහිපත් කරවමිනි.


    විජය නන්දසිරි නම් දක්ෂ රංග ශිල්පියා ගේ සීමාවන් සනිටුහන් වන්නේ මෙහිදීය. එහෙත් එය ඔහුගේ පුද්ගලික ප‍්‍රශ්නයක් ලෙස සලකා බලනවාට වඩා පවත්නා දේශපාලන විපර්යාස හමුවේ බොහෝ කලාකරුවන්ට අත්ව ඇති පොදු ඉරණමෙහි එක් ප‍්‍රකාශනයක් ලෙස සැලකීම නිවැරදිය. මෙහිදී මින් අදහස් වන්නේ විජය නම් රංගධරයා දේශපාලන වේදිකාවට ගොඩ නොවීම යන කාරණය නම් නොවේ. ඔහු සිය භාවිතාව හරහා දේශපාලනික නොවීමය. රංගධරයෙක් ලෙස තමන් විසින් ක්ෂේත‍්‍රය තුළ ගොඩ නඟාගත් පෞරුෂය නිසි පරිදි භාවිතා නොකිරිමය. පසුගිය කාලය පුරාම ලංකාව ගමන් කළ පරිහානිගත ගමනෙහිදී එයට අභියෝග එල්ල කිරිමට කලාව හරහා සමත් කමක් තිබූ විජය වැනි රංගධරයෙකු සීමිත චරිත ගණනාවකට කොටුව ප‍්‍රහසන ශිල්පියකු ලෙස සිය සීමා ලකුණු කිරීම අපරාධයකි. ඒ නිසාම ඔහු ලංකාවේ මධ්‍යම පංතියට විනෝදය සපයන්නා වූවා මිස තමනට උරුමව පැවති මහා රංගන ක්ෂේත‍්‍රයෙහි කිරුළ දරන්නා වූයේ නැති. ලාංකීය කලා ක්ෂේත‍්‍රය තුළ තමනට ලැබෙන අවස්ථා හරහා සීරියස් චරිත මෙන්ම ප‍්‍රහසන අවස්ථාද එකසේ ජයගත හැකි බව ඉතිහාසය පුරා ඔප්පු කළ චරිතාංග නළුවන් අතර ටෝනි පවා සිටියි. එහෙත් මේ ප‍්‍රබලයන් ක්ෂේත‍්‍රය තුළ ඉතිරි කළ පෞරුෂය ඉතා දැවැන්තය. විජය නන්දසිරි යනු මෑත කාලයේ අපට සිටි එවැනිම ප‍්‍රබලයෙක් බව මගේ හැඟීමයි. ඉදින් එවැන්නකු හුදෙක් සරල ප‍්‍රහසන ශිල්පියකු ලෙස නික්ම යාම ඔහුගේ මෙන්ම අපේ සමාජයේද ප‍්‍රශ්නයක් බව අප තේරුම් ගත යුතුව තිබේ.


    විජය නන්දසිරි වේදිකාව තුළ බැරෑරුම් චරිත වලට සාධාරණය ඉටු කළ  අයුරින්ම තමාට ලැබුණ ප‍්‍රහසන චරිතවලටද සාධාරණය ඉටු කළ බව අප පිලිගත යුතුව ඇතද මෑත කාලය වන විට ඔහු සිටියේ ප‍්‍රහසන වේදිකාව තුළ සිය සීමාව සනිටුහන් කරමිනි. ජනප‍්‍රිය නාට්‍ය හරහා ආදායම සරිකර ගැනීම යන තේමාව යටතේ බිහිකෙරුන නාට්‍ය රැල්ලක දැනුවත් ගොදුරක්ව මේ දැවැන්තයා නික්ම යන විට අපට ඔහු නැති හෙට දවසක හිස්කම දැනෙන්නට ගන්නේ ඔහු තමන්ට ක්ෂේත‍්‍රය තුළ කළ හැකිව තිබූ යුගකාරක මෙහෙවරක්ද ඉටු නොකර නික්ම ගියා නේද යන සංවේගය සමගිනි.


 
- නුවන් උදය වික‍්‍රමසිංහ


MOST VIEWED VIDEO STORIES

MORE >>