විනාශය හමුවේ ඉවසා සිටිය යුතු නොවේ
December 7, 2016
2016 මැයි මස පළමුවෙනිදා ස්වීඩනයේ එක් නගරයක විරෝධතා පෙළපාලියක් පැවැත්වෙමින් තිබිණ. විරෝධතාකරුවන් අයත් වූයේ නව නාසි ව්‍යාපාරයටය. ඔවුන්ගේ විරෝධතාවෙහි අරමුණව පැවතියේ ස්වීඩනය කරා එන සුදු නොවන සංක්‍රණිකයන් හට ස්වකීය විරෝධතාව පලකර සිටීමයි. ඔවුන් තම පෙළපාලිය පවත්වන අතරේ දුඹුරු සමින් යුත් උස් ස්ත්‍රියක එක් වරම වීදිය මැදට පිවිසියාය.
කෙලින්ම විරෝධතාකරුවනක් මැදට ගිය ඈ කිසිදු චකිතයකින් තොරව සිය දකුණත මිට මොළවා ඉහලට ඔසවා නිහඬව සිටගත්තාය.පෙළපාලිය ඒ ස්ථානය පසුකර යනතුරුම ඇය සෙලවුනේවත් නැති. අවට සිටි ජනතාව මෙන්ම පොලිසියද තුෂ්නිම්භූත වෙද්දී ඇය අභීතව එසේ රැඳී සිටියාය. පසුව ඇගෙන් ඒ කි්රයාවෙහි අරමුණ කුමක්දැයි අසා සිටි අවස්ථාවේදී ඈ කියා සිටියේ තම අරමුණ වූයේ නාසින් කෙරේවන තම පිළිකුල පෙන්වා සිටීම බවයි. එහිදී තමාට බරපතළ අනතුරක් නාසින් ගෙන් සිදුවීමට ඉඩ තිබූ බවත් ඒ ගැන බියක් දැණුනේ නැතිදැයි අසා සිටි විට ඇගේ පිළිතුර වූයේ තමා ඒ ගැන නොතැකූ බවයි. ඇගේ මේ ක්‍රියාව ඡායාරූපයට නගනු ලදුව ප්‍රසිද්ධියට පත්වූ අතර එය සැලකෙනුයේ ලොව විශිෂ්ටතම ඡායාරූපයක් ලෙසිනි.
මනුෂ්‍යත්වය වෙනුවෙන් මේ කාන්තාව විසින් කරන ලද අගනා ක්‍රියාව අද දවසේ යුක්තිය වෙනුවෙන් කටයුතු කරනා ලොව පුරා බොහෝ අයට ශක්තිය සපයන ආදර්ශයක්ව තිබේ. ඇය සිය අත ඉහළට ඔසවා විරෝධය පල කිරීමට පෙළඹුනේ නෙල්සන් මැන්ඩෙලා අනුකරණය කරමිනි. "මං අනුගමනය කළේ මැන්ඩෙලාව." ඇය පසුව සිය ඉරියවුව ගැන පැවසුවාය. නෙල්සන් මැන්ඩෙලා සිය දකුණත මිට මොලවා ඉහළට ඔසවා සිය විරෝධය පල කරන ආකාරය ඔහු ගේ දේශපාලන ව්‍යාපාරය ගැන දන්නා අයට අමුත්තක් නැති. ටෙස් ඇස්ල්පන්ඞ් යනු ස්වීඩන් ජාතික කාන්තාවක් වන අතර ඇය ප්රගතිශීලී අදහස් වෙනුවෙන් සටන් කරන්නියක් ලෙස ප්‍රසිද්ධියට පත් ක්‍රියාකාරිණියකි.ඇගේ මේ නිර්භීත ක්‍රියාව අපට පවසන දෑ බොහෝය. එක් අතකින් ඒ අපට ප්‍රබල ආදර්ශයකි. බොහෝ අගතීන් නිහඬව ඉවසා සිටීම ඉතා හොඳින් ප්රගූණ කර සිටින මිනිසුන් බහුල අප වැනි රටකට රටක ඇයගේ මේ කේවල විරෝධය බොහෝ පාඩම් කියා දෙයි. ඇය සිය නිහඬ විරෝධය මගින් පෙන්වූවා තම එඩිතරකම පමණක්ම නොවේ. අගතීන් ඉදිරියෙහි තම සවි පමණින් සටන් කිරීමේ වැදගත්කමද ඇය එදා ලොවට පෙන්වා සිටියාය.
එසේම එවන් විරෝධය පෑමකදී ගත හැකි ක්‍රියාමාර්ග බොහෝ ඇති බවත්, අවශ්‍යවන එකම දෙය අධිෂ්ඨානය පමණක් බවත් ඇය කියා සිටියාය. ඇගේ මේ ආදර්ශය කෙතරම් දැඩි බලපෑමක් කළේද යත් එය ස්වීඩනයෙහි නැඟ එන නව නාසි ව්‍යාපාරයට එරෙහිව නැඟී සිටීමට යහපත් මිනිසුන්ට උත්තතේජනයක් වූ බව ඉන් පසුව මිනිසුන් ඉදිරියට පැමිණෙමින් සිටින ආකාරය පැහැදිලිව කියා පායි.
මට මේ ටෙස් ගේ කේවල විරෝධය පෑම සිහිපත් වූයේ රාවය උපදේශක කතෘ වික්ටර් අයිවන් විසින් පසුගිය රාවයෙහි කර තිබූ ආරාධනය දුටු විටය. නව පුරවැසි ව්‍යාපාරයක් වෙනුවෙන් ඉදිරියට එන මෙන් රාවයේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටි ඒ ආරාධනය යනු වසර තිහක දැවැන්ත සමාජ මැදිහත්වීමක අත්දැකීම් මත පිහිටා කරන ලද්දකි.
පුරා වසර තිහක් අතිශය අදිටන් සහගතව පුද්ගලික මැදිහත්වීමක් ලෙසද ඒ සමගම ප්රකාශනයක් සමාජ ව්‍යාපාරයක් ලෙස සාමූහිකව ක්‍රියාත්මක කිරීම තුළින් ලද අත්දැකීම් මතද ඔහු විසින් කරන ලද ඇරයුම ඉතා බැරෑරුම් ලෙස සලකා බැලිය යුතු අවස්ථාවක අද ලංකාව පවතියි. ටෙස් ඇස්ප්ලන්ඞ් වැනි ධෛර්ය සම්පන්න කාන්තාවකගේ මැදිහත්වීම අපට මෙහිදී අගතිය හමුවේ පුරවැසියා ගේ වගකීම පිළිබඳ මනා ආදර්ශයක් සපයයි. අප අදවන විට ඉන්නේ ටෙස් වැන්නියන් මෙන් අවම තරමින් තම විරෝධය පල කිරීමට හෝ ඉදිරියට පැමිණිය යුතු අවස්ථාවකය.
2016 ගෙවෙමින් පවතිනුයේ ඉතාම අත්තනෝමතික පාලනයක් අවසන් කිරීම සඳහා ඓතිහාසික පියවරක් ගත් ජනතාවකගේ අපේක්ෂා ඔවුන්ගේම නිහැඬියාව හමුවේ දියව යන පසුබිමකය. ඒකාධිපතියෙකු පලවා හැරීම සඳහා පෙරට ආ ජනතාව විසින්ම ගෙන එන ලද නව පාලනය දැක්මක් නැති අසාර්ථකබවෙක ගිලීයන අතර රට පවතිනුයේ අරාජිකබවෙහි ගිලෙමිනි. ආපසු පැවති ජරාජීර්ණ බව කරා යාමට ජනතාව අපේක්ෂා නොකළද තමන් ඉදිරියෙහි වන පැහැදිලි මාවතක් ගැන ඉඟියක්ද නව පාලනයෙන් ඔවුන්ට සැපයෙන්නේ නැති. ඒ වෙනුවට දැන් අප හමුවේ සිටිනුයේ කිසිදු වරදානයකින් තෘප්තිමත් නොවන කෑදර පිරිසකි. ඔවුන් ජනතා අපේක්ෂා ගැන කතා කළද තකන්නේ හුදෙක් තම වාසිය ගැනම බව ඉතා පැහැදිලිය. මන්ත්‍රී වරප්‍රසාද වැඩි කරගැනීම හැරුණවිට ඔවුන් රටෙහි අනාගතය ගැන බරපතළ ලෙස සිතන බවක් අපට දකින්නට නැත. ජනපති සහ අගමැති වෙතින් පලවන අදහස්ද අපට කියා පාන්නේ තම අභිලාෂය කුමක් වුවද පෙරේත දොල පිදේනි නැතිව මේ ආණ්ඩුව පවත්වා ගත නොහැකි බවකි. ඒ අනුව ජනතාවට දැන් සිදුව ඇත්තේ තම අනාගතය වෙනුවෙන් යයි කියමින් අතිශය පසුගාමී පිරිසකගේ සුඛවිහරණය වෙනුවෙන් ජාතික ධනය කාබාසිනියා වන ආකාරය බලා සිටීමටය.
අප තවදුරත් බලා සිටිය යුතුද? මේ අප හමුවේ ඇති ප්රශ්නයයි. අපේ බලා සිටීම හමුවේ අහිමි වෙමින් පවතින්නේ අපේම සහ අපේ අනාගත පරපුරේ අනාගතය බව අප යළි සිහිපත් කරගත යුතුව තිබේ. තවදුරටත් දේශපාලකයා පත්කර හැරීමෙන් පමණක් අපේ අපේක්ෂාවන් ඉටුවන්නේ නැති. පුරවැසියා ශක්තිමත් ව්‍යාපාරයක් ලෙස සංවිධානය නොවන තාක් ඔහුට සිදුවනු ඇත්තේ චෞරයන්ට රැකියා සපයන්නාගේ භූමිකාව ඉටු කිරීමට පමණි. අප දැන්වත් අවසන් තිත තැබිය යුත්තේ ඊටය. මේ වනාහී ඒ සඳහා වන හොඳම සහ අවසන් අවස්ථාවයි.
රටක දේශපාලකයා හට දැක්මක් නැති විට රටෙහි අනාගතය වෙනුවෙන් මැදිහත්විය හැකි ශක්තිමත් මහජන ව්‍යාපාරයක් අවශ්‍යය. දෙවන ලෝක සංග්‍රාමය හමුවේ දැවැන්ත නාසි බලපෑම් මත පවා එහි ගොදුරුබවට පත් ජනතාව අතර විවිධාකාරයේ ජනතා සංවිධාන ගොඩනැගී තිබු ආකාරය ඒ අවධියෙහි ඉතිහාසය කියවන විට පැහැදිලිවෙයි. අපේ අරමුණ විය යුත්තේ විනාශය හමුවේ ඉවසා බලා සිටීම නොව පොදු අනාගතය වෙනුවෙන් මැදිහත් වීමය. ඒ සඳහා අද දවසේ අවශ්‍යතාව වන්නේ දේශපාලන ව්‍යාපාරවල පටු අරමුණු ඉක්මවා පොදු යහපත වෙනුවෙන් සක්රීයට මැදිහත් විය හැකි සවිමත් දේශපාලනික එහෙත් නිර්පාක්ෂික ව්‍යාපාරයක් ගොඩ නැගීමයි.
වික්ටර් අයිවන් කියනා පරිදිම ඉතා විවෘත එමෙන්ම පැහැදිලි දැක්මකින් යුත් සංවිධානයක් ලෙස එය ගොඩනැගීම අත්‍යවශ්‍යය. අපට සැබෑ බලපෑම් කණ්ඩායමක් මෙන්ම රටේ අනාගතය උදෙසා මැදිහත් විය හැකි එමෙන්ම යහපත් වෙනසක් සඳහා වන මැදිහත්කරුවන් විය හැක්කේ අපේ දැක්ම ඉතා පුළුල් එකක් බවට පත්කරගැනීම තුළින්ම පමණි. මේ වන විටත් ඒ යථාර්තයක් බවට පත්කරගත හැක්කක් බව රට පුරා විවිධ ස්ථානවල මැදිහත්වීම් කරනා කණ්ඩායම් ඔප්පු කර තිබේ. අද දවසේදී අපට අවශ්‍යව ඇත්තේ ඒ ආකාරයට රට පුරා හැකි සෑම තැනෙකම මහජන කණ්ඩායම් ගොඩනැගීම මෙන්ම ඒ සියල්ල එක් කර ශක්තිමත් මධ්‍ය සංවිධානයක් ගොඩ
නැගීමයි.
අප ඡන්දය දී සැනසෙන්නාගේ භූමිකාව ඉක්මවා යායුතු අවස්ථාවට එළඹ සිටින බව ඉතා පැහැදිලිය. අප සිටින්නේ තවදුරටත් අපේ අනාගතය අනෙකකුට භාරදීම වෙනුවට ඒ වෙනුවෙන් සක්‍රීය මැදිහත්වීමක් කල යුතු සංධිස්ථානයකය. අපට අයිවන් ගේ මෙන්ම ටෙස් වැන්නවුන්ගේද අත්දැකීම්වැදගත් වන්නේ මෙහිදීය. අප 2017 වසර වෙන් කළ යුත්තේ මේ සමාජ මැදිහත්වීම යථාර්තයක් බවට පත්කරගැනීම වෙනුවෙනි. පළමු පියවර ඉතා සුළු විය හැකිය. එහෙත් අප ඉතා ඉක්මනින් ඒ පියවර තැබිය යුතුමය.
-නුවන් උදය වික්‍රමසිංහ