Back to Top

උසාවිය නිහඬ නෑ-ඉතිං ඊට පස්සේ!

October 24, 2016  


පසුගිය විසිඑක්වෙනිදාව යනු සොඳුරු දිනයක්මය. පුරා දින තුනක් ඇදෙමින් පැවති උසාවිය නිහඬයි සිනමා පටයට එරෙහි වාරණය ඉවත් කරන ලද්දේ එදිනය. දින තුනක් තිස්සේ උසාවියට ගිය කලාකරුවන් ඇතුළු විවිධ පිරිස් මෙන්ම තීන්දුව කුමක්දැයි පිටත සිට උනන්දුවෙන් බලා උන් සැමටද ඒ නම් සතුටක්ම වූයේය. තමන්ගේ ප‍්‍රකාශන භාෂාව වන සිනමාව භාවිතා කර සමාජ යහපත වෙනුවෙන් වාර්තා සිනමාපටයක් නිපදවීමේ වරදට ප‍්‍රසන්නද, ඊට මුදල් යෙදවීමේ වරදට සරසවි ප‍්‍රකාශන අධිපති පේ‍්‍රමසිරිද උසාවි බංකුවක හිඳගෙන සිටියද දැන් ඔවුන්ට මෙන්ම ඒ වෙනුවෙන් පෙනී සිටි අයටද යුක්තිය ඉටුවී තිබේ. එලෙසින්ම ලංකා ඉතිහාසයේ අධිකරණ පද්ධතියේ ජරාජීර්ණ ස්වභාවයට එරෙහිව තනි මෙන්ම දීර්ඝතම අරගලයෙහි නිරත සටන්කරුවා වූ වික්ටර් අයිවන්ටද මේ සමග සාධාරණය ඉටුව තිබෙන්නේ යයි කිව හැකිය. එහෙත් නිමාවී ඇත්තේ සටනින් එක් කොටසක් පමණි. බරපතලම කොටස ඇත්තේ ඉදිදිරියටය. ඒ අධිකරණයට අහිමිව ගිය ගරුත්වය යළි ස්ථාපිත කිරීමයි.


අධිකරණය පිළිබඳව ඉතා ඉහළ ගරුත්වයකින් කතා කිරීමට, සැලකීමට පුරුදුව හුන් සමාජයකට ලෙනින් රත්නායක සිදුවීම යනු බරපතළ කම්පන ප‍්‍රතිකාරයක් මෙන් වූවේය. එය කෙතරම් බරපතළදැයි පෙනී යන්නේ උසාවිය නිහඬයි සිනමා පටයෙහි අවසන් කොටසේදී පීඩාවට ලක් එක් කතක කරන ප‍්‍රකාශයෙනි. ඇය පවසන්නී තමන්ට ඉස්සර නම් උසාවියට ගිය විට බයටම කෙළ පවා ගිලෙන්නේ නැති නමුදු දැන් තමනට එහිදී  ඕනෑම දෙයක් කිව හැකි බවයි. සාමාන්‍ය කාන්තාවක් මෙවන් තත්ත්වයකට පත් කරන ලද්දේ පැවති අධිකරණ පද්ධතියේම කොටස්කරුවන් විසින්මය. පෙර කෝටුවේ රජ්ජුරුවෝ යන ගෞරවණීය යෙදුමෙන් උසාවිය ඇමතීමට හුරුව සිටි ගැමියාගේ සිට සියළු දෙනා ඒ කෙරේ ඇති විශ්වාසය බිඳ ගැනීමට ලෙනින් රත්නායක වැනි මහේස්ත‍්‍රාත්වරුන් පිළිබඳ සිදුවීම් පමණක් නොව සරත් එන් සිල්වා, මොහාන් පීරිස් වැනි අග විනිසුරන් මෙන්ම ශිරාණි බණ්ඩාරනායක වැනි අගවිනිසුරුවරියන් ඉතා අවමන් සහගත ලෙස නෙරපා හැරීමට බලයෙන් මත්ව කටයුතු කළ රාජපක්ෂ රෙජීමයද බරපතළ ලෙස වගකිව යුතුය. එසේම බොහෝ අවකල් කි‍්‍රයා සිදු වෙද්දී වික්ටර් අයිවන් රාවය සමගින් තනිව දැවැන්ත අරගලයක නිරත වෙද්දී ඒ නොදුටු සේ සිටි, එසේම පිළිකුල් කටයුතු විනිසුරන් වෙනුවෙන් ලියූ මාධ්‍යයද පුරුද්දක් ලෙස  ඕනෑම අසාධාරණයක් දෙස බලා ඉන්නා බුද්ධිමත් යයි කියන සමාජයටද මේ වගකීමෙන් බැහැරවිය නොහැකිය. එහෙයින් දැන් උසාවිය නිහඬයි සිනමා පටයට එරෙහි සටනෙහි පළමු කොටස ජය ගෙන සිටින අවස්ථාවෙහිදී අප සැවොම එක හෙලා ප‍්‍රසන්නට සහය දිය යුත්තේ අසරණ කාන්තාවන් දෙනෙකුට අසාධාරණකම් කර ගැලවී ඉන්නා ඊනියා නීතියේ බලධාරියාට පමණක් නොව ඔහු ගලවා ගැනීමට ගොඩ පෙරකදෝරුකම් කළ සරත් සිල්වා වැන්නවුන් ගේද සැබෑ තත්ත්වය ජනතාව හමුවට ගෙන එමින් ඉන්ද නොනැවතී මේ වන විට පිරිහී ඇති අධිකරණයේ ගරුත්වය යළි නංවා සිටීමට සියළු පිරිස් ඒකරාශි කර වික්ටර් අයිවන් විසින් ගෙන ආ  නොනිමි අරගලය නැවත ඇරඹීමටය.


උසාවිය නිහඬයි සිනමා පටයට එරෙහි වාරණය ඉවත් කළ පුවත ලද දිනට පසුදින මගේ සන්ධ්‍යාව ගෙවුනේ අධිකරණ ක්ෂේත‍්‍රයට සම්බන්ධ පිරිසක ගේ කලා කටයුත්තක් නරඹමිනි. ඒ හොරණ නගරයේ පැවති නීති නිම්නාද නම් ප‍්‍රංගයයි. කළුතර දිස්ත‍්‍රික්කයේ අනෙක් අධිකරණ බල ප‍්‍රදේශයන් හී නීතිඥ සංගම්වල සාමාජිකයන්ගේද සහය ලබා ගනිමින් එය සංවිධානය කර තිබුණේ හොරණ නීතීඥ සංගමය විසිනි. නැටුම්, ගැයුම් සහ නාට්‍යමය අත්දැකීම් යන සියල්ලේම සංකලනයක් වූ එය මුළුමනින්ම පාහේ නීතීඥ වෘත්තියෙහි නියැලෙන වෘත්තිකයන් පිරිසකගේ කුසලතා ප‍්‍රදර්ශණය කිරීමකි.


සාමාන්‍යයෙන් අධිකරණයක කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන, අධිකරණයෙන් පිටතදී නඩු කතා කිරීමට අවස්ථාව ලබා ගැනීමට තම සේවාදායකයන් පසුපස දුවමින් එකිනෙකාට එරෙහිව කෙවෙල් කරන මට්ටමට විහින් තම තත්ත්වය පිරිහෙළා ගනිමින් ඉන්නා නීතීඥයන් (පසුගියදා උසාවිය නිහඬයි සිනමා පටය වෙනුවෙන් උසාවි ගිය අවස්ථාවෙදී මේ ජුගුප්සාජනක අත්දැකීම ලියුම්කරු යළිත් වරක් පුද්ගලිකවම දැක ගත් බව ලිවිය යුතුය. ඇතැම් නීතිඥයන් මහ පාරේ පවා තම සේවාදායකයන් සමග ගණං හිලවු කතා කරන ආකාරය මට සිහි කළේ වෙන්දේසි පොළකි.) ඉන් මදක් බැහැරව කලා සාහිත ව්‍යායාමයක යෙදෙනු දැකීම සැබැවින්ම සිත සතුට දනවන්නකි.


කෙසේ වෙතත් එදා රාත‍්‍රියෙහි විවිධ අංශයන්ගෙන් ඒ නීතීඥ කැල ඉදිරිපත් කළ දක්ෂතා සැලකිය යුතු මට්ටමක පැවතිණි. තමන් විසින් ගායනා කරන්නට යෙදුන ගීතයන්හී මුල් ගායක ගායිකාවන් ගැන සඳහන් කර ඔවුනට හිමි ගරුත්වය පුදමින් මෙන්ම ඉතා මනරම් ගීත ගායනයට තෝරා ගනිමින් පේ‍්‍රකාෂාගාරයට සාධාරණය ඉටු කිරීමට ඔවුන් සමත් වී සිටියෝය. එහෙත් මහාචාර්ය විමල් දිසානායක වරෙක කී පරිදි සම්ප‍්‍රදාය හදාරන්න හැදෑරූ සැණින් එය බිඳ දමන්න යන කියමන සම්බන්ධයෙන් නම් ඔවුන් ද අන් බොහෝ අය මෙන්ම සිතිය යුතුව ඇතැයි සිතුණේ සළු පාලිය අංගය දකින විටය. එය හුදෙක් පේ‍්‍රක්ෂකයා විනෝදයට පත් කිරීම සඳහා සම්ප‍්‍රදායික ලෙස ඉදිරිපත් කරනා නර්තන අංගයම පමණි. එහෙත් එහිදී ඉදිරිපත් කෙරුණ කවි සඳහා වර්තමාන සමාජ ගැටළු පාදක කරගෙන නව කවි නිර්මාණය  කිරීමට  කල්පනා කළේ නම් සහ පැරණි ගීත ගායනා කරන අතරේම වුව තමන්ගේම දායකත්වයෙන් නව ගීත කිහිපයක් හෝ එක් කිරීමට ඔවුන් කල්පනා කළේ නම් ඒ ව්‍යායාමය තවත් සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකිවන බව සහතිකය.


කෙසේ වෙතත් මේ සියල්ල අතරෙහි ඔවුන්ගේ දක්ෂතා පළ කළ එක් අංගයක් ගැන සඳහන් කළ යුතුව තිබේ. ඒ ඔවුන් විසින්ම පිටපත ලියන ලද කෙටි නාට්‍යයයි. ඒ වනාහී තම වෘත්තිය කෙරෙහිම ස්වයං විවේචනාත්මක වෙමින් ලියන ලද පිටපතකි. එසේම සුභාෂණ කුරුගල නම් නාට්‍යකරුවාගේ අධ්‍යක්ෂණය යටතේ එහි ඔවුන් දැක්වූ දක්ෂතාවන්ද අගය කළ  යුතුය. විශේෂයෙන්ම නීතීඥ වෘත්තිය පිළිබඳව ඔවුන් විසින් ඉදිරිපත් කෙරුණ උපහාසාත්මක විවේචනට හමුවේ සාමාන්‍ය පේ‍්‍රක්ෂකයා වෙතින් ලද උනන්දු සහගත ප‍්‍රතිචාර කියා පෑවේ පිටපතෙහි ඇති දෙබස් සහ රංගනය කෙතරම් තදින් ඔවුන්ට වැදුණේද යන්නයි. නමුදු ඔවුන් තම නාට්‍යය තුළම එහි කණගාටුදායක සීමා කිරීමද සිදුකර තිබුණ බව කිව යුතුය. ඊට හේතුව ඔවුන් තවමත් ඉන්නා සම්ප‍්‍රදායික අදහස්ම බව පැහැදිලිය. ඔවුන් තම නාට්‍යය අවසන් කළේ ජාතක කතාවක මෙන් උපදේශාත්මක වෙමිනි. එය පියදාස සිරිසේන ගේ ජයතිස්ස සහ රොසලින් සිහි ගැන්වීය. නීති වෘත්තියේ හැටි එහෙම වුවද සෑම නීතීඥයෙක්ම කළු බැටළුවෙක් නොවන්නේය යන තර්කය තහවුරු කිරීම අරමුණු කරගෙන පිටපත රචනා කිරීම විසින් කෙටි කාලයක් තුළ තියුණු සමාජ විචාරයක් සිදු කිරීමට තිබූ අවස්ථාව ඔවුන් විසින්ම මග හරවා ගැනීම ගැන අපට දැනුනේ දුකකි.


කෙසේ වෙතත් ඒ සන්ධ්‍යාව පසන් සන්ධ්‍යාවක් බවට පත් කිරීමට ඔවුන් දැරූ උත්සාහයට අපේ ඇගයුම ඔවුන්ට හිමිවිය යුතුය. එහෙත් ඒ සමගම ඔවුන් කල්පනා කළ යුතුව ඇත්තේ යළි අධිකරණයෙහි තනි තනි වෘත්තිකයන් බවට සීමා වීම දක්වා පල්ලම් බැසීමට නොව එදා වේදිකාවෙහි දැක්වූ සහයෝගී බව ඉදිරියට ගෙනයමින් වර්තමාන අධිකරණ ක්ෂේත‍්‍රයෙහි ඇතිව තිබෙන පරිහාණිය අවසන් කර නව අධිකරණ පද්ධතියක් ඇති කිරීම සඳහා ඇතිවෙමින් පවතින භාහිර අරගලයටද සිය සක‍්‍රීය දායකත්වය ලබා දීම පිළිබඳවය. එසේ කිරීමෙන් මේ වන විට ඒ වෙනුවෙන් ක්ෂේත‍්‍රය තුළ කටයුතු කරන සුළුතරය බහුතරය බවට පත් කිරීමට ඔවුන්ට හැකිවනු ඇත. හොරණ පමණක් නොව දිවයින පුරාම ඉන්නා නීතීඥවරුන්ගෙන් සමාජය අපේක්ෂා කරන්නේ එයයි. සැබෑ නීතිය නිම්නාද වන අයුර අපට දැකිය හැකිවනු ඇත්තේ එවිටය.




-නුවන් උදය වික‍්‍රමසිංහ


MOST VIEWED VIDEO STORIES

MORE >>