Back to Top

වියත් මගකට මග

May 9, 2017  


පසුගිය දිනෙක මගේ මිත‍්‍රයෙක් මට එක්තරා ඊ මේල් පණිවුඩයක් එවා තිබුණි. ඒ ඊට හැඳිින්වීමක්ද එක් කරමිනි. ඒ හැඳින්වීමෙහි වූයේ මෙයයි. ‘සියලුම ශ‍්‍රි ලාංකිකයන් විසින් අනිවාර්යයෙන්ම කියවිය යුතුයි.’ ඉදින් මමද ඒ අනුව එය කියවාගෙන ගියෙමි. එහි වූයේ දේශනයක පිටපතකි. දේශනය පවත්වන ලද්දේ ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී සහ ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ හිටපු සභාපති මෙන්ම ලංකා හොස්පිට්ල්ස්හී හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා විසිනි. ඒ 2017 මාර්තු 15 දින කොළඹ බටහිර රොටරි සමාජයේ රැස්වීමකදීය. ඔහු සිය දේශනය අරඹන්නේ තමන් ලංකාවෙහි වර්තමාන ආර්ථික තත්වය ගැන කතා කිරීමට කැමැත්තේ යයි පවසමිනි. ඔහුගේ කතාව කොටස් දෙකකට වෙන් කළ හැකිය. ඉන් එක් කොටසක් පසුගිය රාජපක්ෂ රජයෙහි කාර්යක්ෂමතාව සහ දුරදක්නා ඥානය විග‍්‍රහ කිරීමටය. අනෙක් කොටස වෙන්වන්නේ වත්මන් රජයෙහි අකාර්යක්ෂමතාව ගැන විග‍්‍රහ කිරීමටය.

සිය දේශනය අවසන ඔහු සවන් දෙන්නන්ට ආරාධනයක් කරයි. ඒ පක්ෂ ඇතුළු සියලු භේද පසෙක ලා බුද්ධිමතුන් ලෙස රටට ඇති ආදරයෙන් වර්තමානයෙහි ඇති එක් බුද්ධිමතුන්ගේ සංවිධානයකට එක්වන ලෙසටය. ඔහු පවසන පරිදි රටෙහි මේ වන විට පක්ෂ ප‍්‍රතිපත්ති අභිබවා යන ජාතික ප‍්‍රතිපත්ති නැත. එහෙයින් කළ යුතුව ඇත්තේ රටෙහි බුද්ධිමතුන්, ව්‍යවසායකයන්, විද්වතුන් එකට එක්වීමයි. ඔහු මෙහිදී සිය ඇරයුම කරන්නේ එසේ සියල්ලටම එක්විය හැකි සංවිධානයක් ගැන කියමිනි. එහි නම මෙයයි -වියත් මග.
නාලක ගොඩහේවා යනු ඉතා දක්ෂ උගතෙක් බවට කිසිදු වාදයක් නැත. එහෙත් ඔහුගේ දේශනය කියවන විට මට සිතුණේ ඔහුත් අනෙක් බොහෝ උගතුන් පරිදිම සමස්ත තත්ත්වය සමාලෝචනය කිරීම වෙනුවට තමනට අවශ්‍ය තැනින් කුට්ටිය කපා දැක්වීමේලාද අති දක්ෂයෙක් බව පමණි.

අද දවසේ අපේ අවාසනාව වන්නේද මෙයමය. තමන් මධ්‍යස්ථව සහ විචාරශීලීව දකිනවා යයි කියන අතරම ඔවුන් අපට පෙන්වා සිටින්නේ තමන් තුළ වන පක්ෂපාතීත්වයමය. තමන් කෙතරම් අපක්ෂපාතී යයි කීවද ඔවුහු බොහෝවිට වැඩිකල් නොයවාම සිය නියම පැහැය දක්වති.
අපටද ආචාර්ය ගොඩහේවාගේ කතාවෙහි එකඟ විය හැකි තැන් තිබේ. ඔහු වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී බව සහ සැලසුමක් නැති කම පිළිබඳව පවසන දෑ ගැන ආරෝවක් නැත. එය වත්මන් පාලකයෝ දිනපතා පෙන්වමින් සිටිති. මේ දිනවල දිග හැරෙන බැඳුම්කර සිද්ධිය ඒ සඳහා එක් උදාහරණයක් පමණි. එනිසාම රටේ බුද්ධිමතුන්ගේ එකතුවක් ඇතිවිය යුතුය යන්න ගැනද විවාදයක් නැත. එහෙත් අපට ප‍්‍රශ්නය ඇත්තේ වත්මන් ආණ්ඩුව ගැන විවේචනයක් එල්ල කරන ආචාර්ය ගොඩහේවා පසුගිය ආණ්ඩුව සම්බන්ධයෙන් කළ යුතුම විවේචනයන් ඉතා සූක්ෂම ලෙස මගහැර යන ආකාරයයි.


එය මධ්‍යස්ථ බුද්ධිමතකුට කෙසේවත් ගැලපෙන්නක් නොවේ. ඔහුද ඇතුළු පසුගිය ආණ්ඩුවෙහි බොහෝ අය  මහත් ප‍්‍රහර්ශයෙන් හුවා දක්වන එක් උදාහරණයක් වන්නේ රාජපක්ෂ පාලනය යටතේ කොටස් වෙළඳපල අත්කරගත් වර්ධනය ගැන ප‍්‍රවාදයයි. කෘත‍්‍රීම ලෙස කොටස් වෙළඳපළ නැග්ගවූ ආකාරයත් ඉන් කිහිප දෙනකු කල්ල මරේ කරගත් ආකාරයත් එහි අවසන් ප‍්‍රතිඵලය කවරාකාරද යන්නත් විග‍්‍රහ කළ යුත්තේ මෙරටේ ඉන්නා මැදහත් ආර්ථික විශ්ලේශකයන් විසිනි. මුළුමනින්ම රාජපක්ෂවරුන්ගේ න්‍යාය පත‍්‍රයේ කොටස්කරුවන් වෙමින් රටෙහි උගත් සහ බුද්ධිමත් යයි කියනා බොහෝ අය කළ ආර්ථික ඝාතන සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේ නිසි පරීක්ෂණ අරඹා වගකිව යුත්තන් ඉදිරියට ගත යුතුව තිබුණද එය සිදු නොවන තත්වයක් යටතේ අද පවා පසුබිම සැකසෙන්නේ අපරාධකරුවන්ට සුසිල්වතුන් ලෙස පෙනී සිටීමට වීම අතිශය ඛේදවාචී වෙයි.

ආචාර්ය ගොඩහේවා වත්මන් ආණ්ඩුවෙහි අකාර්යක්ෂමතාව ගැන මතු කරන විට අප ඔහු සමග එකඟ වන්නේ මෙසේ රටේ ආර්ථික ඝාතකයන්ට දඬුවම්දීමට වත්මන් පාලකයන් දක්වන නුසූදානම සහ මැලිකම ගැනද චෝදනා කරමිනි.
පසුගිය රජය විසින් මෙරටට කරන ලද විනාශය ගැන රටෙහි ජනතාවට නිසි කරුණු දැක්වීමක් කිරීමට රටේ මධ්‍යස්ථ බුද්ධිමතුන් යයි කියනා බොහෝ දෙනකු දක්වන මැලිකම හේතුවෙන් ආචාර්ය ගොඩහේවා වැන්නවුන්ට මෙසේ පක්ෂග‍්‍රාහී ලෙස කතන්දර පැවසීමට ඉඩ ලැබී තිබේ. ඔහු සැබෑ මධ්‍යස්ථ බුද්ධිමතකු නම් කළ යුතුව තිබුණේ පසුගිය පාලනයෙහි අගතීන්ද විග‍්‍රහයට ලක් කිරීමයි. ඒ වෙනුවට ඔහු සිය කතාව මැද එෆ්සීඅයිඞී සහ අල්ලස් කොමිසම වැනිි ආයතන ගැන සඳහන් කරමින් රජයේ නිළධාරීන් 2000කට අධික පිරිසක් ඒවා හමුවට පැමිණවීමෙන් රාජ්‍ය නිලධාරීන් බයට පත් කර ඇති බව කියයි.


 එහෙයින් ඔවුන් නව පියවර තැබීමට බියවන  බව කියයි. පසුගිය මාස 27 තුළ නව ආණ්ඩුව කළ එකම කාර්යය මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳ කතා කිරීම බවත් අලූතින් ඊට බැඳුම්කර සිද්ධියද එක්ව ඇති බවත් කියයි. මෙවන් දෑ නිසා විදේශ ආයෝජකයකුට ලංකාව ලොව වඩාම දූෂිත රටක් ලෙස පෙනී යා හැකි බව කියයි. රටෙහි වංචා ගොන්නට බැඳුම්කර හුටපටයද එක්ව ඇති බව විවාදයක් නැත. ආචාර්ය ගොඩහේවාගේ තර්කයෙහි ඇති අනතුර අපට පැහැදිලි වන්නේ ඔහු ඉදිරිපත් කරන සිල්වාගේ උදහරණය සමගිනි. ඔහුට අනුව සැමදා බීමත්වන සිල්වා පාරට බැස මෙසේ කෑගායි. මගෙ ගෑනි අල්ලපු ගෙදර එකා එක්ක බුදියනව. ඒකි ගණිකාවක්. වැඩිමල් පුතා මිනීමරුවා ඌ දැන් ඉන්නෙ හිරේ. දෙවෙනිය කුඩුකාරය. වැඩමල් දුව ඩ‍්‍රයිවර් එක්ක පැනල ගියා. දැන් මට  ඕනැ බාල දුව කසාද බන්දල දෙන්න. කවුරුහරි හොඳ කෙනෙක් ඉන්නවද මට බෑනා කරගන්න?

මේ නම් අපූරු උදාහරණයකි. ඒ කතාවට අනුව ඔහු කියන්නේ ආණ්ඩුවම රට ගැන විශ්වසනීයත්වය විනාශ කරගනිමින් සිටින බවයි. වත්මන් ආණ්ඩුව රටෙහි කීර්තිනාමය විනාශ කරන්නේය යන්න අඩ සත්‍යයකි. (එය පූර්ණ සත්‍යයක් කරගැනීමටද ආණ්ඩුවට අපහසු නැත)  බලයට පත්වූ පසුව ඔවුන් විසින් ගනු ලැබූ ඇතැම් ක‍්‍රියාමාර්ගයන් හරහා රටට යම් පිලිගැනීමක් ලැබෙන්නට පටන් ගත් බව අප අමතක නොකළ යුතුය. විශේෂයෙන්ම යුද්ධයෙන් උමතුවට පත් රටක් ශිෂ්ට සම්පන්න මාවතකට ගැනීම සඳහා ගත් පියවර ඊට හේතු විණි. අනෙක් අතින් රටෙහි ආර්ථිකය විනාශ කරනා අවස්ථාවාදී ආර්ථික ඝාතකයන්ට එරෙහිව නිර්දය ලෙස පියවර ගනිමින් ආර්ථික විනය ඇති කරන්නේය යන පොරොන්දුවද ඇති කලේ සැලකිය යුතු බලපෑමකි.

රටෙහි ආර්ථික විනය පිරිහීමට වත්මන් පාලකයන්ටත් පෙර ආචාර්ය ගොඩහේවාද සහය දැක්වූ රාජපක්ෂ රෙජීමය කළ හරිය අමතක කර දැමීම මේ බුද්ධිමතුන් සිය විවේචනයන්හිදී කරනා බරපතළ වරදයි. 
අපට විනයගරුක රටක් අවශ්‍යව තිබේ. ඒ සඳහාවන මූලිකම කොන්දේසියක් වනුයේ රට විනාශයට පත් කරනා සියල්ලන්ටම එරෙහිව පක්ෂ භේදයකින් තොරව දැඩි පියවර ගැනීමයි. අදවන විට සිදුවන්නේ වත්මන් පාලකයන් අඥාන ලෙස කටයුතු කිරීම පමණක් නොව පසුගිය ආණ්ඩුවෙහි හොරුන්ටද නිදැල්ලේ සරන්නට ඉඩ හරිමින් ඔවුන් සමගද ඞීල් දමාගන්නා ආකාරයක් රටට පෙනී යමින් තිබීමයි. ආචාර්ය ගොඩහේවා ගේ ඇරයුම රට වෙනුවෙන් බුද්ධිමතුන්ට එක්වන ලෙසටය. එහෙත් එසේ කිරීමට පෙර ඔහු තමන්ගේද සහය ලත් පාලනය පිළිබඳව අවංක සහ නිර්භය විවේචනයක් කළ යුතුව තිබේ. එසේ නොකර සිදු කරන ඇරයුම් යනු අවලංගු කාසිම පමණකි.

අපට ජාතික ප‍්‍රතිපත්ති අවශ්‍ය බව අවිවාදිතය. ඒ සඳහා රටෙහි බුද්ධිමතුන් එක්විය යුතු බවද එසේමය. එහෙත් එසේ එක්වන්නට අවශ්‍ය එක් මූලික සාධකයක් තිබේ. ඒ  මධ්‍යස්ථබව සහ අවංක කමයි. අප ආචාර්ය ගොඩහේවා වැනි උගතුන්ගෙන් ඉල්ලා සිටින්නේ පසුගිය පාලනයෙහි ආර්ථික කළමනාකරණය  සම්බන්ධයෙන් පලමුව එසේ අවංක විවේචනයක යෙදෙන ලෙසටය. විවාදයක් නැත. අපට විනයගරුක රටක් වුවමනාවී තිබේ. එය ඔක්සිජන් තරමටම අද අත්‍යවශ්‍යය. එහෙත් ඒ සඳහා අනිවාර්ය කොන්දේසිය වන්නේ ආර්ථික ඝාතකයන්ට පක්ෂ භේදයකින් තොරව දඬුවම් කිරීමයි. අවියත් සහ පක්ෂග‍්‍රාහී සංවිධාන මගින් අපට වියත් මගක් ලැබේයයි සිතන්නේ නම් ඊටත් වඩා මුලාවක් නැත. රට තේරුම් ගත යුතු සත්‍යය එයයි.





MOST VIEWED VIDEO STORIES

MORE >>