Back to Top

රාජ්‍ය සේවය පිරිහීමෙන් වළක්වා ගන්නේ කොහොමද?

July 20, 2016  



රාජ්‍ය සේවකයා, ආණ්ඩුව සහ සිවිල් සංවිධාන අතර පවතින සංවාදයන් සහ විසංවාදයන් එක්තරා ආකාරයකට උච්චස්ථානය කරා එළඹුණ සිදුවීම් කිහිපයක කූටපාප්තිය පසුගිය සතියේ අපට දක්නට ලැබුණි. ඒ රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනත් අමාත්‍යාංශයක ලේකම් තනතුර වෙත මාරුකර හැරීමට නියෝගයක් පැමිණීමත් ලබන වසරේ තමා විශ‍්‍රාම යන හෙයින් එතෙක් තමනට මේ තනතුරේම රැඳී සිටීමට ඉඩ දෙන ලෙසත් නැතිනම් විශ‍්‍රාම යාමට ඉඩ දෙන ලෙසත් ඔහු විසින් ඉල්ලා සිටීම සමගිනි.

 මේ මාරුවට හේතුව වශයෙන් බොහෝ අය දක්වන කරුණ වනුයේ පසුගිය රජයේ කුප‍්‍රකට සිල් රෙදි සිදුවීමට චෝදනා එල්ල වන අනුෂ පැල්පිට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරකට පත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන ලේකම් මැදිහත්වීම බවයි. එහෙත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ ඊට වෙනත් හේතුද බලපා ඇති බවකි. කෙසේ වෙතත් පසුගිය දිනක රාජ්‍ය පරිපාලන ලේකම්වරයා පුවත්පත් වලට දෙන ලද සම්මුඛ සාකච්ඡාව ඔහුට එරෙහිව සිවිල් සංවිධානවල විරෝධය ඇතිවීමට හේතු වූ බව නිරීක්ෂණය කළ  හැකිය.  කෙසේ වෙතත් මේ ලිපිය ලියනුයේ  මාරුවීමේ ඇති සාධාරණ අසාධාරණ බව ගැන අදහස් දැක්වීමට නොව රාජ්‍ය පරිපාලන ලේකම් විසින් මතු කරන ලද කරුණු හරහා ඇති විය යුතුව ඇති සංවාදයක් අතර මග නතර වීම වැළැක්වීම සඳහා උත්සාහයක් දැරීමයි.

 
    රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ කතාවෙන් පැහැදිලි වන එක් කරුණක් වනුයේ පසුගිය කාලය පුරාම රාජ්‍ය සේවය සහ නිලධාරි තන්ත‍්‍රය බරපතළ ලෙස දේශපාලනීකරණය වී ඇති බවයි. එය හුදෙක් රාජපක්ෂ රෙජීමයට පමණක් බැර කළ  නොහැකි වුවද රාජ්‍ය නිලධාරියා විශේෂයෙන්ම පරිපාලන සේවයේ නිලධාරීන් දේශපාලන ගැත්තන් බවට පත්කිරීමේ ක‍්‍රියාවලිය උපරිමය දක්වා ගෙන ඒමේ වගකීම රාජපක්ෂ රෙජීමය බාරගත යුතු බව බැහැර කළ නොහැකි සත්‍යයකි. මේ තත්ත්වය අද දක්වාම නොවෙනස්ව යහ පාලන රජය යටතේද පවතින බවට එක් උදාහරණයක් වනුයේ ප‍්‍රාදේශිය ලේකම් , සහකාර ප‍්‍රාදේශීය ලේකම් තනතුරු සඳහා පත් කිරීමේදී පළාතේ දේශපාලන බලධාරියාගේ නිර්දේශය අදද අවශ්‍යව පැවතීමයි.


 අදද නොනිල මට්ටමින් පවත්වාගෙන යන මේ අව සම්ප‍්‍රදාය ගැන පරිපාලන සේවා සංගමයවත් කටක් අරින්නේ නැත. මෙලෙස වත්මන් රාජ්‍ය සේවය දෙස බලන විට එහි විවිධ මට්ටම් හරහා මේ දේශපාලනීකරණය සිදුවන ආකාරයේ බරපතළකම වටහා ගැනීම අසීරු නැත. එහෙයින් වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ අපේ ප‍්‍රබලම මැදිහත්වීම විය යුත්තේ රජයේ සේවකයා දේශපාලන වියගසින් මුදා නිදහසේ සේවය කිරීම පිණිස ඇවැසි තත්ත්වය නිර්මාණය කිරීමට සාමූහිකව මැදිහත් වීමයි. මෙය නිලධාරීන්, සිවිල් සංවිධාන සහ දේශපාලක යන පාර්ශව තුනේම මැදිහත් වීම අවශ්‍ය කරුණකි. සිදුවීම් අලලා කරන මැදිහත් වීම් තුළ අප අමතක කරන වැදගත්ම කටයුත්ත මෙයයි.


    රාජ්‍ය සේවය යන වදනේ අර්ථයේ පටන්ම මේ පරිහාණිය අද දැකිය හැකිය.  රාජ්‍ය සේවය යන්න ගත් සැණින් රාජ්‍ය සේවකයා මෙන්ම දේශපාලකයාද එය අරුත් ගන්වන්නේ මහජනයා උදෙසා වන සේවය වශයෙන් නොව පවතින ආණ්ඩුව වෙනුවෙන් කොන්දේසි විරහිතව බැල මෙහෙ කිරීම ලෙසිනි. අද මේ තත්ත්වය රාජ්‍ය සේවයේ කිරීටය සේ සැලකෙන පරිපාලන සේවයේ සිට පහලට ඇති පදම් දැකිය හැකිය. එහෙයින් අද දවසේ අපේ ප‍්‍රමුඛතම කාර්යය වන්නේ රාජ්‍ය සේවය දේශපාලන බැල මෙහෙවර කිරීම යන මාවතින් බැහැරට ගැනීමයි. එය නිලධාරීන් මාරු කිරීමට වඩා ගැඹුරින් ගත යුතු සමාජ මෙහෙවරකි.


    රාජ්‍ය සේවය තුළ ප‍්‍රමුඛතම සේවය සේ සැලකෙන්නේ ශ‍්‍රී ලංකා පරිපාලන සේවයයි. ඔවුන් හා දීප ව්‍යාප්ත සේවාවන් ලෙස සැලසුම් සේවය , ගණකාධිකාරී සේවය ආදී වශයෙන් තවත් සේවා ගණනාවත් තිබුණද ප‍්‍රතිපත්තිමය තීරණ වල සිට අන් බොහෝ ක්ෂේත‍්‍ර දක්වා පරිපාලන සේවයේ දෘෂ්‍යමාන මෙන්ම අදෘෂ්‍යමාන හස්තය ක‍්‍රියාත්මක වන ආකාරය වටහා ගැනීම අපහසු නැත. පරිපාලන සේවයට අභියෝග කිරීමට හෝ ඔවුන් හා සමසුන් ගැනීම තවමත් ශක්තිය ඇත්තේ සිය වෘත්තීය බලය අභ්‍යාස කිරීමේ ලා තවමත් සාර්ථකව ඉන්නා වෛද්‍ය සේවය පමණි. අන් සියල්ලටම බොහෝ විට සිදුවන්නේ පරිපාලන සේවය හමුවේ හැකිලී යාමටය. එහෙත් අප පසුගිය කාලය පුරාම දුටු බරපතළම තත්ත්වය වූයේ පරිපාලන සේවය මේ ප‍්‍රමුඛ මට්ටමේ සිට දේශපාලන බලය හමුවේ හැකිළී ගිය ආකාරයයි.


 අද වන විට ඔවුන්ගේ වෘත්තීය සංගමයේ සිට තනි තනි නිලධාරියා දක්වා ගත්තද දැක්ම, ක‍්‍රියාමාර්ග මෙන්ම කැපවීම අතින්ද රටේ අවශ්‍යතාව හමුවේ ඔවුන් ඉන්නේ ඉතා පසුපසිනි. එවන් විටක ඊට පහලින් ඇති සේවාවන්හී ප‍්‍රගමනයක් අපේක්ෂා කිරීම විහිළුවකි. වත්මන් රාජ්‍ය පරිපාලන ලේකම් අරභයා අතිව තිබෙනා ගැටළුවද එහිම ප‍්‍රකාශනයක් මිස වෙනත් දෙයක් නොවේ. වඩා නිවැරදි රාජ්‍ය සේවාවක් සඳහා අද දවසේ අත්‍යවශ්‍යම කාර්යයක් වී ඇත්තේ දේශපාලන බලාධිකාරිය පිනවීම නොව රටේ යහපත තකා රාජ්‍ය සේවකයා සහ දේශපාලකයා අතර වන අවබෝධාත්මක වගකීම් බෙදා ගැනීම, සංවාදය සහ ක‍්‍රියාත්මක වීමයි. එසේ නොවීම තුළ ඇති බරපතල තත්ත්වය ප‍්‍රකාශවන එක් අවස්ථාවක් වන්නේ සිල් රෙදි සිදුවීමයි.


 ඒ සඳහා මුදල් ලබා දීම ආයතන ආරංචි මාර්ග අනුව ගත් කළ සිදුව ඇත්තේ පවත්නා අධිකාරී බලය යටතේ අනුමැතිය ලබා ගැනීමේ ක‍්‍රියාවලියක් හරහාය.  ඒ අනුව එය නෛතික වශයෙන් පවතින රාමුවට අනුගතය. එහෙත් මෙහි ඇති වරද වනුයේ රාජ්‍ය සේවකයකු ජනතාව උදෙසාවන සිය වගකීම සහ වෘත්තීය ආචාර ධර්ම මෙන්ම මහජන මුදල් කවර නමකින් හෝ නීතියේ රාමුව යටතේම අවභාවිතාවේ යෙදෙන බව දැන දැනම එය ඉවසා සිටීමයි. මෙය එහෙම පිටින්ම පසුගිය කාලය පුරා තම රාජකාරිය යනු පවත්නා ආණ්ඩුවේ කවර මහජන විරෝධී කටයුත්තක වුව කරබාගෙන නියැලීම බවට පරිපාලන සේවයේ සිට සියළු සේවාවන්  බාර ගැනීමේ අනිවාර්ය ප‍්‍රතිඵලයයි.

 
    මෙවන් තත්ත්වයක් යටතේ අද දවසේදී රාජ්‍ය සේවයේ උන්නතිය තකා කළ යුතුව ඇති අත්‍යවශ්‍යම කටයුත්ත වනුයේ නිලධාරියා සහ දේශපාලකයා අතර වන සම්බන්ධතාව වහලා සහ ස්වාමියා වශයෙන් ඇති තත්ත්වයෙන් මුදවා ලීමයි. නිලධාරියා යනු දේශපාලකයන් විසින් පවරනු ලබන  ඕනෑම කටයුත්තක් නොව රටේ යහපත සඳහා වන කාර්යයන් ඉටු කිරීම පිණිස නිදහස ඇති එසේම දේශපාලකයාට ඇවැසි අවස්ථාවල ප‍්‍රඥාව මෙන්ම මාර්ගෝපදේශයන්ද සැලසීමට සමත් බලවේගයක් බවට පත් කිරීමයි. එසේම දේශපාලකයාද රටේ සාමාන්‍ය නීතිය මෙන්ම පරිපාලන නීති රෙගුලාසි මෙන්ම මුදල් නීති සංග‍්‍රහය යනාදිය මැනවින් දන්නා හා ඊට ගරු කරන පිරිසක් බවට පත් කිරීමයි.

 මෙය කිරීම සඳහා මූලිකත්වය ගත යුතුව ඇත්තේ පරිපාලන සේවයමය. ඉදින් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ විවේචනය සාධනීය ලෙසින් ඒ දිශාවට යොමු කරමින් මෙතෙක් පැවති සියලු අවභාවිතාවන් කෙරේ විවේචනාත්මක වන අතර ඉදිරියේදී පරිපාලන සේවය දෙපයින් සිටුවීම සහ ඊට දැක්මක් සැපයීම ඒ සේවයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම නවකයන්ගේද වගකීම විය යුතුය. වෙනත් වචන වලින් කියන්නේ නම් ඒ විවේචනය සහ ස්වයං විවේචනයයි. පරිපාලන සේවය මේ වගකීමට උර නොදෙනතාක් අනෙක් සේවාවන්හී පිරිහීම වලක්වා ගත නොහැකිය. අද අපට පරිපාලන සේවයෙන් ඇවැසි භූමිකාව එයයි. අද දවසේ රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ සිදුවීම ආශ‍්‍රයෙන් ඇතිව තිබෙනා ගැටළුව සාධනීය මගකට ගත හැක්කේ පරිපාලන සේවය සියල්ලටම පළමුව සැබෑ පරිපාලන සේවයක් බවට පත් කිරීමෙන් පමණි.

 

    -නුවන් උදය වික‍්‍රමසිංහ 


MOST VIEWED VIDEO STORIES

MORE >>