Back to Top

පළමු වර පණ්ඩිතකම් - දෙවෙනි වර බක පණ්ඩිතකම්

August 6, 2015  

අප කිසිසේත්ම මෛත‍්‍රී ප‍්‍රවේශය අත හැර නැහැ. ඊට ප‍්‍රධන හේතුව අප සැම විටම ඔවුන් හා හොඳහිත  මෙන්ම අනෝන්‍ය අවබෝධය මත පිහිටා කටයුතු කිරීමට සූදානම්ව සිටීමයි.  එහෙත් එහි අරුත කෙසේවත් අප ඔහේ වාඩිවී බලා සිටීමට සූදානම්ය යන්න නම් නොවේ. අප පූර්ණ විශ්වාසය තබන්නේ ක‍්‍රියාවන් කෙරෙහිය. මෙත්තාව යන්නෙහි නියම අර්ථය වන්නේ කවර හො නිශ්චිත මෙහොතක අවශ්‍ය දේ නොපැකිල කිරීමයි.
(අවුන් සාන් සුකී)


    ජනවාරි අටවෙනිදායින් පසුව ලංකාවේ දේශපාලන භූමිය තුළ සිදුවෙන සියළු විකාර සහගත සිදුවීම් දෙස බලන විට අපට යළි යළි පෙනෙන්නේ සුකී ගේ ඉහත කියමන හරිහැටි ක‍්‍රියාවේ යෙදවීමට අපේ යහ පාලන දේශපාලන දහරාවේ ඉන්නා පිරිසට නොහැකි වීම නිසා හටගෙන ඇති බරපතළ අවුලේ තරමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නියම ඵල භුක්ති විඳිය යුතු පුරවැසියන්ට තව දුරටත් එය දිනා ගැනීමට වීදි බැසීමට අවශ්‍ය වට පිටාව නිර්මාණය කරන අතරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගහලයන්ට නියාළු ලෙස ඉඩ හැරීමෙහි කරුමයට දැන් කර ගසන්නට සිදුව ඇත්තේත් අවසන ජනතාවටමය. අඩු ගණනේ මෙවර මැතිවරණ කොමසාරිස්වරයාවත් ජනපතිවරණයේ තැබූ පියවර තවත් ඉදිරියට ගෙනයමින් දැඩි ලෙස නීතිය ක‍්‍රියාත්මක කිරීම අපේ යම් සැනසිල්ලකට හේතුවී තිබේ. ඔහුගේ මැදිහත්වීම නිසාම යාන්තම් මෙවර පෝස්ටර්, කටවුට්, බැනර්, පෙලපාලි, ගුටි කෙළි, මැරකෙළි ඇතුළු බොහෝ උපද්‍රව වලින් තවමත් අප සෑහෙන දුරකට නිරුපද්‍රිතය.


තමන් ගේ කටේ සැර තරමටම ක‍්‍රියාවේ බලවත් කමද ඔප්පු කිරීමට දරනු ලබනා වෙර හේතුවෙන් ඔහු සෑහෙන කාලයක් අප සිත් තුළ ප‍්‍රසාදජනක සිතුවිළි රඳවනු ඇත. අපේ ඉල්ලීම ඒ තත්ත්වය ධූරය හැර යන දින දක්වා රැක ගෙන විශ‍්‍රාම දිවියේ පසුවන විට හමුවන අවස්ථාවලදීත් එම ප‍්‍රසාදජනක සිතුවිල්ලෙන්ම ආමන්ත‍්‍රණය කිරීමට අපට ඉඩ ඉතිරි කරන ලෙසයි.


    ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන්න පුරවැසියාගේ පරම උරුමයකි. එය දේශපාලකයාටද හිමි බවට විවාදයක් නැත. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හරයන් කිසිවකට ගරු නොකරන හුදෙක් මාධ්‍ය මේසය ඉදිරියේ මයික‍්‍රපෝනය කටේ දාගත් විට පමණක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන දේශනා කරන ඉන්තේරුවෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ජන සතුරන්ට අප මෛත‍්‍රියේ මුවාවෙන් නියාළුකම දක්වන විට එය කෙසේවත් ජනතා යහපතට හේතු වන්නේ නැති. පසුගිය කාලයේ අප අත්විඳි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තරම පසුගියදා ලංකාවට පැමිණි පෝද්දල ජයන්ත ගේ පසුගිය රාවයේ සම්මුඛ සාකච්ඡාව කියවූ විට වටහා ගත හැකිය. ඇමරිකාව තුළ සිටින විටදී පවා තමන් සුදු වෑන් එකක් දැකීමෙන් තැති ගන්නේය යනුවෙන් ඔහු කරන ප‍්‍රකාශය භීෂණයට ලක් වූවෙකු තුළ ජීවිත කාලය පුරාම ඉතිරි වන භීතිය පිළිබඳ කදිම උදාහරණයකි. එහෙත් යහ පාලන ආණ්ඩුවක් තුළ හිඳිමින්ම අපට ජයන්ත හට කීමට ඉතිරිව ඇත්තේ තවමත් ඔහුගේ සිද්ධිය ඇතුළු බොහෝ අපරාධ ගැන නොනිමි පරීක්ෂණ පවතින බව පමණි.


    පසුගිය දා මතුවූ සුදු වෑන් සිද්ධියද අපට ඇති කළේ පරණ සිතුවිළිමය. නව පාලනයක් යටතේත් නොම්මර තහඩු කිහිපයක් දමාගෙන තම ප‍්‍රධානියාගේ ගිනි අවියද සහිතව හමුදා සෙබළුන් කණ්ඩායමක් නිදැල්ලේ සරති. ඒ අතරේ මර්ධනය උපරිම ලෙස භාවිතා කළ දේශපාලන අවලංගු කාසි කිහිපයක් සුදු වෑන් භීතිය ගැන දේශනා පවත්වති. මේ අද වන තුරුත් අපට හමුදාවෙන් හා ආණ්ඩුව පැත්තෙන් හරිහමන් පැහැදිලි කිරීමක් නැත. ඒ වාහනය එල්ටීටීය භාවිතා කළ එකක් බව ගෝඨාභය රාජපක්ෂ කිවු බවක් පුවත් පත්වල පළවු පසුව හමුදාව සතුව එසේ පවතින වාහන ගැන අගමැතිවරයා වාර්තාවක් ඉල්ලූ බව පුවත් පත්වල පලව තිබුණි. එහෙත් මේ කිසිවකිනුත් ජනතාවට අවශ්‍ය පැහැදිලි කිරීම සිදු වූයේ නැති බව කිව යුතුය. යුද්ධයකට පසුව සතුරාගෙන් අල්ලා ගත් වාහන එසේ හමුදාවකට හිතුමතේ භාවිතා කළ හැකිද(යහපාලනය යටතේත්?) ඒවා ලියාපදිංචි නොකර පවත්වා ගත හැකිද?(යහ පාලනය යටතේත්?)හමුදා සෙබළුන්ට මෙසේ නිදැල්ලේ එවන් වාහන වලින් සැරිසරන්නට පුළුවන්ද?(යහ පාලනය යටතේත්?) මේ කිසිවක් ගැන විවෘත පරීක්ෂණයක් නොකෙරී පවතින්නට හැකිද?(යහ පාලනය යටතේත්?) අපට මේ කිසිවකට පිළිතුරු නැත.


හිටපු ආණ්ඩුවේ චණ්ඩියකු වන එසේම විමල් වීරවංශලා විසින් බිහිකරන ලද දේශපාලන චරිතයක්ද වන වීරකුමාරගේ රුව රැගත් පොස්ටර් හමුදා අංක තහඩු සහිත වාහනයකින් හමුවුනේ යැයි පුවත් පල වන්නේ මෙවන් තත්ත්වයක් යටතේය. සබරගමුවේ මහ ඇමතිගේ අගසවුවෙකු කේරළ ගංජා සමග අසුවීම මීට අමතරවය. මේ සියල්ල අපට අදාළ වන්නේ පුවත් ලෙසින් විතරද? ටික දිනක් පුවත් මවා ඉන් පසු අමතකව යන කතන්දර හැටියට පමණක්මද? තත්ත්වය මෙසේ නම් මාධ්‍ය ඉදිරියේ තව දුරටත් වීරයන් වන්නේ අපරාධකරුවාම නම් එවන් තත්ත්වයට හේතුව යහ පාලන ආණ්ඩුවේ මෙත්තාව පෙරදැරි කරගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නම් අපට කීමට ඇත්තේ ඒ අප උදෙසා වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවන්නේය යන්න බවම පමණි. අප ඉමහත් කැප කිරීම් තුළ ඉල්ලූවේ එය නොවේ. අපට මනාප සංග‍්‍රාම අදාළ නැත. අපට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පමණි . අපට තව දුරටත් නිදහසට කාරණාද අවශ්‍ය නැත. අප ඉල්ලන්නේ අපේ උරුමය පමණි.


    ජනතාවට සතුරුකම් කළ බලවේග වලට පවත්නා තත්ත්වය යටතේත් කෙතරම් රඟන්නට හැකිද යන්නට ඉතාම පිළිකුල් සහගත උදාහරණයක් අපට පසුගියදා දකින්නට ලැබුණි. ඒ හිටපු ජනපතිගේ මුවින්ම නිකුත්වූ විසුළු ප‍්‍රකාශයක් හරහාය. තම පාලන සමයේ පරිහාණිය ගැන නැගෙනා චෝදනා සම්බන්ධයෙන් හරිහමන් පිළිතුරක් දී ගත නොහැකිව කුප‍්‍රකට යටි උගුල් සූත‍්‍රයෙන්ම බලය ඇල්ලීමට සිහින මවන හිටපු ජනපතිවරයා දැන් සිංහල බසටද නව අර්ථකතන දීමට යුහුසුළු වෙයි. ඔහුගේ මේ පුහු කියමන්වලට පිළිතුරු දීම රටේ විද්වත් පර්ෂදවල යුතුකම හා වගකීම වුවද එවැන්නක් සිදුවන්නේ නැත. එහෙයින් හිටපු ජනපති දේශපාලනය නොදන්නා අන්ධ භක්තිකයන් වැනි පිරිසක් ඉදිරියේ වැඩ පෙන්වීමට යයි. මේ දිනවල ඔහු කරනා එක් දෙයක් වන්නේ තමනට එල්ල වන චෝදනාත්මක නාමයක් සඳහා වෙන නිර්වචන ඉදිරිපත් කිරීමට සැරසීමයි. ඔහුම පවසන ආකාරයට ඔහුගේ විරුද්ධවාදීහු ඔහු හොරෙකැයි අවලාද නගති. එහෙත් ඉන් වන අවැඩක් නැති. ඒ තමන් හොරා යන්නේ නියම අර්ථය මනාව පිරිසිඳ දන්නා බැවිනි. අපේ මේ සිංහල ප‍්‍රාඥයාට අනුව හොරා යනු අන් කිසිවෙක් නොව හොඳින් රාජ්‍ය පාලනය ගෙන යන්නාය. තමන් විසින් එල්ලෙන මේ පිදුරු ගහේ සිට ඔහු තම පාලනයේ කළු පැහැය වසා ගැනීමට වදන් ක‍්‍රීඩාවක නිරත වෙයි. ඉදින් ඔහු කියනා ආකාරයට හොරා යන්නේ අර්ථය හොඳ මිනිසා යන්න නම් රටේ බන්ධනාගාරවලින් අපට එවන් හොඳ රාජ්‍ය පාලකයන් බුරුතු පිටින් සොයා ගත හැකිය. ඒ අනුව අපේ හිටපු ජනපති තමන් නියම පිරිස හා අපූරුවට අනන්‍ය කරයි.



     මේ අතරේ ඇතැම් සන්ධාන බලකනු කිසිම හිරිකිතයක් නැතිව තම ලැයිස්තු තුළ ඉන්නා ජන හතුරන් ආරක්ෂා කරති. සමහරු එළිපිටම අපට පවසන්නේ තමන්ද හොඳ මිනිසුන් නොවන බවයි. ඒ අතරේ තව සමහරු හොරුන් ගෙන් තොර ලැයිස්තු හදන්නට බැරි බවට ඔට්ටු අල්ලන්නට සැරසෙති. මේ සියල්ලෝම සෘජුව හා වක‍්‍රව උත්සාහ දරන්නේ තම අවාසියට ඇති සියළු පැති අහෝසි කරමින් තම අයහ පැවැත්ම ජනතාව ඉදිරියේ සාධාරණීකරනය කරගැනීමටය. අනෙක් අතින් ඔවුහු සිය අත දෙපරැන්ද අස්සෙන් යවා අපට කොකා පෙන්නා ඇද්ද කියා ඔලොක්කුවට අසති. මහින්ද රජය යටතේ පැවති අත්තනෝමතික කම් හමුවේ කෙලෙසන ලද නීතිය පා යට තබාගෙන මේ දේශපාලූවන් කියනා හිරිකිත කතා අසන විට ඇතිවන්නේ දරුණු පිළිකුලකි.


    අප මේ මැතිවරණයේදී වැඩිම හඬක් නැගිය යුතු එක් කරුණක් වන්නේ දේශපාලනයට ඊට ගැලපෙන පිරිසක් පත් කර ගැනීම සඳහාය. මේ කාර්යයේදී අපට පක්ෂ භේදයකින් තොරව එක පෙරමුණක සිටගත හැකිය. අපේ ඉල්ලීම විය යුත්තේ හොරුන් හා දූෂිතයන් පිටු දකිනා පාලන ක‍්‍රමයකි. ඉදිරියේ පත් වීමට නියමිත දේශපාලකයන් කිසිවකුත් ගැන අපට නිශ්චිත චරිත සහතික දිය නොහැකි බව ඉතා පැහැදිලිය. එහෙත් එසේ වූ පමණින් මහින්ද රාජපක්ෂ යහපත් පාලකයෙක් වන්නේ නැත. ඔහු යළි බලයට ගෙන ඒම සඳහා ගැලපෙන තර්කයක් අපට සොයා ගැනීමට ලැබෙන්නේ ද නැත. අප වහාම කළ යුත්තේ නියාළු සහගත හැසිරීම මෙත්තාව ලෙස වර්ණ ගැන්වීමෙන් තොරව හොරාට රාජ්‍ය පාලක නාමය සින්නක්කරට ලියා දීම නොව නොපමාවම ඔහුට හිමිතැන එනම් සිපිරි ගෙදර කරා වන මාවත විවෘත කිරීම පමණි.


    දාහත යනු මේ අනුව බලන විට අපට යළි ලැබෙනා ස්වර්ණමය අවස්ථාවකි. අප මෙහිදී ඉටාගත යුත්තේ ඉන් උපරිම ඵල නෙලා ගැනීමටය. තමන් වසර දෙකක් කල් තිබියදී මැතිවරණයට යාමෙන් පණ්ඩිත වැඩක් කළ බව දැන් හිටපු ජනපතිම පිළිගනියි. එහි ප‍්‍රතිඵලය අපරාජිත සළු හැඳ සිටි ඔහු පළමු වරට ඓතිහාසික පරාජයක් ලැබීමයි. එහෙත් ඉන් පාඩමක් ඉගෙන නොගත් ඔහු යළි මන්ත‍්‍රී පුටුවට පොරකයි. අප මෙහිදී කළ යුත්තේ මෙයයි. ඔහුට නැවත් කිසිදිනෙක දත් හිරිය නොඇරෙන තරමේ පරාජයක් දෙවන වරටද අත් කරදීමයි. මෙත්තාව කෙසේවත් නරක අදහසක් නොවේ. එහි නරක ඒ වැරදි අර්ථ නිරූපණ වලට ලක් කිරීමයි. ඉදින් එක් වරක් පණ්ඩිතකම් කළ හිටපු පාලකයා දෙවන වරට බක පණ්ඩිතකම් කරන්නේ නම් අප අතට ගත යුත්තේ බලූ දම්වැලයි. ඔව්, ඊළඟ මැතිවරණයේදී බැඳ දැමිය යුතු බල්ලන් බොහෝය.




- නුවන් උදය වික‍්‍රමසිංහ


MOST VIEWED VIDEO STORIES

MORE >>