Back to Top

විධායක බලයට එරෙහි විපක්ෂයේ හඬ කොහිද?

September 23, 2014  


කිසිදා බිඳලිය නොහැකි සේ පරපුරින් පරපුරට රාජ්‍ය බලය රැක ගැනීම උදෙසා රාජපක්ෂවරුන් විසින් දියත් කරන ලද වැඩපිළිවෙළ නොසිතූ විරූ ලෙස නෛතික ගැටලූවකින් අභියෝගයට ලක්වී ඇති සෙයක් පෙනෙන්නට පටන් ගෙන තිබේ. බොහෝ අය ඒ හඳුන්වනුයේ සරත් එන් සිල්වාගේ කාල බෝම්බය වශයෙනි. එම හැඳින්වීම ගැලපුනද නැතද මේ වන විට අසහාය විධායක ජනපති ධූරය පිළිබඳ රාජපක්ෂ වරුන්ගේ සිහිනයට බාධා ගෙන දෙන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. එහෙයින්ම මේ රටේ යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් දැකීමට අපේක්ෂා කරන මිනිසුන්ට එය කිසියම් ආකාරයක බලාපොරොත්තුවක් ජනිත කර තිබේ.



අන්ත කෛරාටික ලෙස බලයට පැමිණි රාජපක්ෂ රෙජීමය සිය බලය තහවුරු කර ගැනීමට කටයුතු කළේ ඉතා සූක්ෂම අයුරිනි. එම වැඩපිළිවෙළෙහි එක් ප‍්‍රධාන අදියරක් වූයේ විධායක ජනපති ක‍්‍රමය උපරිමයෙන් ශක්තිමත් කිරීමයි.ඒ සඳහා රෙජීමය කටයුතු කළ ආකාරය මේ වන විට රටේ සිහි බුද්ධිය ඇති සියලූ දෙනාම දනිති. පළමුවෙන්ම එම ශක්තිමත් විධායකයේ ගොදුරු බවට පත් වූයේ ඒ ශක්තිමත් කිරීම සඳහා නන් අයුරින් පසුබිම හැදූ අයම වීම හාස්‍යජනකය. ශිරාණි , ෆොන්සේකා වැන්නවුන් ඒ සඳහා කදිම උදාහරණය. රාජපක්ෂවරුන්ගේ ඊළඟ ඉලක්කය වූයේ සිය දෙවන පරපුර සූදානම් වන තුරු බලය අත රඳවා ගැනීමයි. සිය පුත‍්‍රයකු නාවුක හමුදාවට ඇතුළු කිරීම , 
සොහොයුරා රාජ්‍ය නිළධාරි තන්ත‍්‍රයේ ඉහළටම ගැනීම , ඥාතීන්ට ආර්ථික දේශපාලන මර්මස්ථානවල බලය හිමිකර දීම මේ වැඩපිළිවෙළේම කොටස්ය.




සියල්ලේම අවසන් අරමුණ සිය වැඩිමල් පුත‍්‍රයා නිසි ලෙස සූදානම් වන තුරු පිටිය ආරක්ෂා කර ගැනීමයි. ඉදින් දැන් එම පිටියෙන් වේලාසනම දැවී යමින් ඉන්නේ කණ්ඩායමේ නායකත්වයට පත්වීමට පෙරුම් පුරමින් උන් මෛත‍්‍රීපාල, නිමල් සිරිපාල ඇතුළු පිරිසකි. එසේම එම බලකණු බ්ලාස්ට් වීම හරහා එළඹෙන අනාගතයේ සිය පුත‍්‍රයාට නතු දේශපාලන රැළක් බිහිකර ගැනීමේ කටයුතුද මේ වන විට සැලකිය යුතු මට්ටමක ප‍්‍රගතියක් අත්කර ගෙන තිබේ. ඒ අනුව ඉදිරියේ දී දේශපාලන සවිඥාණකත්වය වෙනුවට ශරීරයේ හයිය හා කටේ තිරිංග රහිතකම වැනි බාල සාධක මත දේශපාලකයන් වූ පිරිසක් නාමල් බලකායේ අන්තේවාසිකයන් ලෙස පොර පිටියේ ඉදිරියෙන් ම සිටිනු ඇත්තේය.



කෙසේ වෙතත් දැන් සරත් එන් සිල්වා විසින් ‘වත්මන් ජනපති ට තව වරක් බලයට ඒමට නොහැකිය‘ යනුවෙන් මතු කරන තර්කය ආණ්ඩුවේ හිතවාදීන් හට තිගැස්මද වෙනසක අපේක්ෂාවෙන් පසුවන පාර්ශව වලට බලාපොරොත්තුවද ඇති කර තිබේ. පසුගිය සති දෙක පුරාම රටේ නීති ක්ෂේත‍්‍රයේ බුද්ධිමතුන් සරත් එන් සිල්වාගේ තර්කයේ ප‍්‍රබල බව පිළිබඳව කතා කරනු දක්නට ලැබුණි. එසේම මේ වන විට ආණ්ඩුවේ බැලයන් ද විධායක ජනපති ක‍්‍රමය තුළ තව වරක් වත්මන් ජනපතිවරයාට පත්වීමට නෛතික බාධාවන් නැතැයිද ඔප්පු කිරීමට වෙහෙසෙන අයුරු දක්නට ලැබේ. අපේ අරමුණ වන්නේද එය අත්නොහැරිය යුතු අවස්ථාවක් ලෙස ගන්නා අතරම ඒ ජය ගැනීම සඳහා අප ගත යුතු ක‍්‍රියා මාර්ග පිළිබඳව යම් අදහසක් පළකිරීමයි.



විධායක ජනපති ධූරයට වත්මන් ජනපති වරයාට තව වරක් ඉදිරිපත් වීමට නොහැකි යයි ගෙනෙන නෛතික තර්කය හමුවේ ආණ්ඩුවේ ප‍්‍රතිචාරය කුමක් වනු ඇතිද? මෙහිදී
ජනපති හමුවේ ඇති විකල්ප දෙකකි. පළමුවැන්න ධූරයට ඉල්ලීමෙන් වැළකී සිටීමයි. දෙවැන්න යළි තරඟ කිරීමයි. ආණ්ඩුවේ මෙතෙක් හැසිරීම ගැන සලකන විට රාජපක්ෂ රෙජීමය පළමු විකල්පය භාර නොගන්නා බව ඉතා පැහැදිලිය. එහෙයින් ම ඉඩ ඇත්තේ කවර තත්ත්වයක් යටතේ වුව බලය උපරිම අයුරින් භාවිතා කරමින් තව වරක් ජනපති  මැතිවරණයට ඒමය.දැන් අප මතුව ඇති නීති තර්කයේ වාසිය ලබා ගත යුත්තේ උපරිම බලය ඇති පාලකයකු තව වරක් සිය බලය රැක ගැනීම සඳහා කවර පියවරක් වුව ගනිතැයි යන තත්ත්වය සිහියේ තබා ගෙනය.



රටේ මතුව ඇති නෛතික තර්කය පිළිබඳව කිසිදු සැලකිල්ලක් හෝ නොදක්වා සිය වාචාල බල ඇණියේ තර්ක මත ජනපතිවරයා තව වරක් මැතිවරණයට ඒමට ඇති ඉඩ ඉතා ඉහළය. මේ වන තෙක් පාලකයන් වෙතින් මේ නීති තර්කය පිළිබඳ කිසිදු ප‍්‍රකාශයක් නිකුත්ව නැති අතර ධූරය අත් හැරීම සඳහා සූදානමක සේයාවක් හෝ පළවී ද නොමැත. එහෙයින් අපට උපකල්පනය කළ හැක්කේ නියතවම ජනපති තරඟයට එන බවයි. අප දැන්ම තියා සූදානම් විය යුත්තේ එම තත්ත්වයටය.  ජනපතිවරයා යළිත් ඉදිරිපත් වන්නේ නම් අප ඉදිරියේ ඇති විකල්ප දෙකකි. ඉන් පළමු වැන්න වනුයේ සරත් එන් සිල්වා කියන ආකාරයට මැතිවරණ කොමසාරිස් වරයාට එරෙහිව අධිකරණය ඉදිරියට යාමයි. දැනටමත් නීති ක්ෂේත‍්‍රයේ ඉන්නා විද්වතුන් අපේක්ෂා පළ කරනුයේ එසේ කරමින් 18 සංශෝධනය අභියෝගයට ලක් කිරීමටය. එහි අරුත අධිකරණය හමුවේදී තමනට සාධාරණයක් ඉටුවේය යන විශ්වාසයයි. එහෙත් අපේ අදහස නම් නීතිය හමුවය යාමෙන් යුක්තිය ලැබේය යන පරම විශ්වාසයෙන් යුතුව මෙහිදී කටයුතු කිරීම ඉතා අන්තරායකාරී සූදුවක් විය හැකි බවයි.



මෙවන් තත්ත්වයකදී නීතියෙන් යුක්තිය ලැබීමට නම් රටේ පැවතිය යුත්තේ මුළුමනින්ම ස්වාධීන අධිකරණ පද්ධතියකි.එහෙත් අප දන්නා සරල සත්‍යය වනුයේ මේ වන විට විධායක බලය තුළ රටේ මෙතෙක් පැවති සියලූම  ස්වාධීන ආයතන එකී ස්වාධීනත්වයෙන් තොරකර ඇති බවයි. සරත් ෆොන්සේකා හා ශිරාණි බණ්ඩාරනායක සිදුවීම් වලදී අපට මෙය ඉතා මැනවින් දැකගත හැකිවිය. මේ වන විට අගවිනිසුරු ධූරය දරන්නේ ද නෛතික ක්ෂේත‍්‍රයේ විද්වතුන්ගේ විවේචනයට ලක්වූ කෙනෙකි. එසේම තමන්ට අභිමත පරිදි බල තන්ත‍්‍රය හසුරුවාලීම සඳහා ආණ්ඩුව කරන මැදිහත් වීම් දෙස බලන විට ජනපතිවරණය වැනි තීරණාත්මක කරුණකදී ඔවුන්ගේ මැදිහත් වීම කෙතරම් ප‍්‍රබල වේ දැයි සිතා ගැනීම අපහසු නැත.



ආණ්ඩුවේ විවිධ කෙරුමන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක විය යුතු අවස්ථා බොහෝ මතු වුවද ඒ සෑම අවස්ථාවකම නීති යාන්ත‍්‍රණයේ හැසිරීම අගතිගාමී සහ මන්දගාමීවූ බව අප දුටුයේ වරක් දෙවරක් නොවේ. දීර්ඝ කාලයක් පුරා සිදුවූ මේ නීතිය වෛශ්‍යා වෘත්තියේ යෙදවීම  පිළිබඳව වික්ටර් අයිවන් කළ විග‍්‍රහය පවතින තත්ත්වය ඉතා හොඳින් පෙන්වා දෙයි. ඉදින් එවන් පරිසරයක නීතියෙන් යුක්තිය පැතීම කෙතරම් තාර්කික ද යන කරුණ අප දැඩිව සැලකිල්ලට ගත යුතුය.



එහෙත් මින් අදහස් වන්නේ අප නීතිය ඉදිරියට නොයා යුතුය යන්න නොවේ. ඒ වෙනුවට නීතිය ඉදිරියේ යුක්තිය ඉටු නොවන්නේ නම් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව වැඩ පිළිවෙළක් අපට තිබිය යුතුය යන්නයි. වර්තමාන ක‍්‍රමය සමග සටන් වැදීම යනු එක් පෙරමුණකින් පමණක් කළ හැක්කක් නොවේ. ඒ සඳහා බහුවිධ පෙරමුණු වලින් කෙරෙන පීඩනය අවශ්‍යය. එය සෑම අතකින් ම ඉතා බලවත් වීමද අත්‍යවශ්‍යය. ජනපතිවරණය සම්බන්ධ කරුණේදී මෙය තීරණාත්මකය. ඒ අපට එහිදී වත්මන් ජනපතිවරයාට යළි ඉදිරිපත් වීමට නොහැකිය යන තර්කය ජය ගැනීමට අමතරව සමස්ත විධායක ක‍්‍රමයම වෙනස් කිරීමද අවශ්‍ය වන හෙයිනි. එහෙයින් මෙහිලා අප ඉතා වැඩි අවධානයක් යොමු කල යුත්තේ මේ අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම හා ඔවුන් සංවිධානය කිරීම කෙරෙහිය. මන්ද නීතිය අපේ පිහිටට නොඑන්නේ නම් යුක්තිය ඉල්ලා අපට අරගල කිරීමට සිදුවන්නේ ජනතා බලය පෙරටු කොට ගෙන වන හෙයිනි. එසේම පාලකයන්ට හිස නොනමා සිටිය නොහැකි එකම බලවේගයද එය පමණක් වන හෙයිනි.



අවාසනාවට තවමත් විපක්ෂය විසින් නොකරන්නේද එයයි. රටේ තීරණාත්මක ප‍්‍රශ්නයක් වන විධායක ක‍්‍රමය පිළිබඳ කරුණ තවමත් පවතින්නේ බුද්ධිමය ක්ෂේත‍්‍රයේ කව තුළ පමණි. ඉන් බැහැර රටේ අනාගතය තීරණය වන්නේ සිල් රෙදි, නියං ආධාර, වතුර බෝතල් මගිනි. අප වෙනස් කළ යුත්තේ එම තත්ත්වයයි. අද අප අත් විඳිනා ඛේදයට මේ ක‍්‍රමය මුළුමනින්ම වගකිව යුතු යයි මිනිසුන්ට ඒත්තු ගැන්වීමට අප සමත් වන දිනට නීතිය නොව කවර ආයුධ අත තබා ගත්තත් පාලකයන්ට පරාජය පිළිගැනීමට සිදුවනු නියතය. ඉදින් අප දැන් ඉන්නේ පෙරමුණු දෙකකින් සටන් දියත් කළ  යුතු අවස්ථාවකය. නීතියේ ආධිපත්‍යය පිහිටුවීම සහ ජනතා  බලය සංවිධානය කිරීම. අපේ රිදී රේඛාව ඇත්තේ එතුළින් ම පමණි.





- නුවන් උදය  වික‍්‍රමසිංහ


MOST VIEWED VIDEO STORIES

MORE >>