Back to Top

රැම්පෝසා ද ඇවිත් ගියේය..!

July 28, 2014  

සිරිල් රම්පෝසා මහතාගේ ආගමනය සම්බන්ධයෙන් ආරම්භයේදී ජාතික නිදහස් පෙරමුණේ නායකයා විරුද්ධ විය.එහෙත් ඔහු පැමිණි පසු එම විරෝධය පහව ගොස් ඇත. අනෙක් අතට එය දැඩි විරෝධයක්ද නොවීය.ඒ නිසා ඒ සම්බන්ධයෙන් අප කලබල විය යුතු යැයි නොසිතේ. ජාතික හෙළ උරුමයට අදාලව ගත හොත් පාටලී චම්පික රණවක මහතා විරුද්ධද නැතිද යන්න පැහැදිලි නැත. එනිසා ජාතික සංහිදියාවක් උදෙසා දකුණු අපි‍්‍රකානු මැදිහත්වීම සම්බන්ධයෙන් රට අභ්‍යන්තරයෙහි සැලකිය යුතුවිරෝධයක් නැති බව පැහැදිලිය.
(වාසුදේව නානායක්කාර -ලංකාදීප 2014 ජූලි 16)



                              සහතික ඇත්තය. රම්පෝසාගේ ආගමනය සැලවූ අවස්ථාවේ අපට හමුවූයේ දේශානුරාගයෙන් ඔද වැඩි, කුමන්ත‍්‍රණකාරීන්ට එරෙහිව විජිතපුර සටනට යාමට වුව සූදානම් අධිරාජ්‍ය විරෝධී වීරවංශ කෙනෙකි. අවම තරමින් තැඹිලි වතුර වීදුරුවක් හෝ රැගෙන ආරක්ෂක ලේකම් වැනි කෙනෙකු පැමිණෙන තුරු ඔහු කටුනායක ගුවන් තොටුපළේ මාරාන්තික උපවාස ජවනිකාවක නියැළේ යැයි අපි විශ්වාස කළෙමු. ඔහුට ඥාන සම්පත් සපයන ගුණදාස අමරසේකර වැන්නවුන් ධජ සේසත් රැගෙන ඔහු පිරිවරා සිටිනු ඇතැයි අපේ බලාපොරොත්තුව වූයේය. එහෙත් ඒ කිසිවක් සිදුවූයේ නැති. රම්පෝසා පැමිණියේය. යාපනයටද ගියේය. ජනපති හමුවී ආපසු සිය රට බලා කිසිදු විරෝධයකින් තොරවම ගියේය. රට තුළ ප‍්‍රබල නොව මීක් සද්දයක් නැගුනේ නැති. දැන් කවුරු හෝ රම්පෝසා ඇවිත් ගියානේදැයි ජාතික නිදහස් පෙරමුණේ නායකයන්ගෙන් ඇසුවහොත් ඔවුන් ඊට පිළිතුරු දෙනු ඇත්තේ සිනාවෙනි.



රම්පෝසාගේ ආගමනය පිළිබඳව වාසුදේව අමාත්‍යවරයා පවසන පරිදිම රට තුළ දැඩි එරෙහි වීමක් පැවතියේ නැති. විශේෂයෙන්ම ආණ්ඩුව තුළ ඒ සම්බන්ධ අදහසක් පවා පළ නොවූ තරම්ය. මේ වන විට ජාතිවාදී මාවතින් බැහැරව නියම යුදකාමීන් සේ පෙනෙන පරිදි හැසිරෙන ආණ්ඩුවේ ඇතැම් බලකාරයින් පවා රම්පෝසා ගැන පසුවූයේ මුනිවතිනි. විපක්ෂයද ඒ ගැන විරෝධයක් පළ කළේ නැති. රටේ වාර්ගික ගැටලූවට සාධාරණ විසඳුමක් දිය යුතුය යන මතය මෙහිදී අන්තවාදී ජාතිවාදීන්ගේ මතය වෙනුවට රට තුළ තහවුරුව ගියේද? නැතිනම් ජාතික නිදහස් ජෙරමුණ ඇතුළු ජාතිවාදී නඩ තව වටයකින් සිය මතය ඉදිරියට ගැනීම සඳහා වැඩ පිළිවෙළ සකසමින් ඉන්නේද?
රම්පෝසාගමනයට පෙර මාරාන්තික විරෝධයක නිරතවූ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පසු නිහැඬියාව අපට ආණ්ඩුව සහ ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත‍්‍රය පිළිබඳ බොහෝ දැ පවසයි. අප දන්නා පරිදි ආණ්ඩුව මුලදී සිටියේ රම්පෝසාට නොව පූසකුටවත් රටේ ප‍්‍රශ්න වලට ඇඟිලි ගසන්නට ඉඩ නොදෙන්නේ ය යන ස්ථාවරයේය. එහෙත් අවසන සිරිල් රැම්පෝසා ලංකාව බලා එන්නේ අන් කාගේවත් නොව ආණඩුවේම ගෞරවනීය ආරාධනයෙනි. ඒ ආණ්ඩුවේම මාරාන්තික විරෝධය පසුව දියාරු වී ගිය ආකාරයයි.



ජාත්‍යන්තර බලවේග හමුවේ  රට තුළ මතුවන ජාතිවාදී අදහස් පිළිබඳව රම්පෝසා සිද්ධියද අපට බොහෝ දේ කියා දෙයි. නලීන් ද සිල්වා වැනි අය බොහෝ කලක් තිස්සේ ස්ථාපිත කිරීමට අදහස් කළ සිංහල බෞද්ධ ජාතිකවාදී මතය දැන් තහවුරුව තිබෙන්නේ ය යන්න අප ඉදිරියේ පෙනෙන්නට තිබෙන්නකි. පෙර මෙන් නොව දැන් බෞද්ධ පෙරහැරක් කවි බණක් වැනි දෙයක් නොමැතිව ගෙවෙන දවසක් නොමැති තරම්ය. ඒ අතර සමාජයේ බහුතරය පෙනෙනුයේ සුළු ජනවර්ගයන්ට වඩා අධිපතිවාදී සිංහල සමාජයක් ගැන විශ්වාස කරන සෙයකි. රට පුරාම පෙනෙනුයේ අධිරාජ්‍යවාදී මතයක් ඇති සෙයකි. බහුජාතික සමාගම් වලට එරෙහිව කතාකරන දේශ හිතෛශීහු සූරා කෑමම සිය දහම කරගත් ධනපති පංතියක් සුජාත කරති.



 ජවිපෙ තුළ වාමවාදී මතයක් වෙනුවෙන් පෙනී සිටි වීරවංශ ජාතිවාදී ආස්ථානයකට පීලි පැනීමම මේ ප‍්‍රවණතාවට දෙස් දෙයි .එහෙත් රට තුළ ජාතිකවාදී මතයක් මෙතරම් තහවුරුව තිබෙන්නේ නම් විමල් ගේ රම්පෝසා විරෝධය ලත් තැනම ලොප් වන්නේ ඇයි? බොදු බල සේනාව වරින් වර උඩ යට යන බෝලයක් සේ පෙනෙන්නේ ඇයි? පිළිතුර ඉතා පැහැදිලිය. මේ ඊනියා ජාතිකවාදය යනු රාජපක්ෂ පාලනයේ පහසුව උදෙසා භාවිතා කෙරෙනා කඩතුරාවක් පමණි. එහෙත් ඉන් රටේ ජනතාව තුළ ස්වකීය ජාතිය ගැන හැගීම් නොමැත්තේ ය යන්න අදහස් නොවේ. ඒ අතරම සිංහල බෞද්ධ අධිපති සමාජයක් පිළිබඳ  අදහසද රට තුළ නොමැත්තේ ය යන්න නොකියවේ. ඒ වෙනුවට අප වටහා ගත යුතු සත්‍යය වන්නේ සමාජයේ මතුපිට තලයේ ජනපි‍්‍රයව භාවිතා වන ජාතිකවාදය හා අධිරාජ්‍ය විරෝධය යන්න හුදු පාලකයින් විසින් ඉන්ධන සපයනු ලබන දේශපාලන උපක‍්‍රමයක් යන්නයි. යුද ජයත් සමගම රාජපක්ෂවරුන්ට රට තුළ බලය තහවුරු කර ගැනීමට පැවති හොඳම මග වූයේ ජාති(ක)වාදයයි. පළමු වටයේ දී මහින්ද විමල් චම්පික යන සියල්ලම උන්නේ ජාති(ක)වාදී සිංහල බෞද්ධ පෙරමුණේ නායකයින් ලෙසටය. ඔවුන් සියල්ලම රාජපක්ෂ පෙරමුණ ඉදිරියට ගැනීමේ ලා මතවාදී පදනම සැකසූ අයයි.





තමන් විසින් කි‍්‍රයාත්මක කරන ලද දුෂ්ට චක‍්‍රය වේගයෙන් කරකැවෙද්දී ඉන් ඉවතට වීසි වීමට බල කෙරුන ජවිපෙ ඇතුළු තවත් පාර්ශව රාජපක්ෂ ආණ්ඩුවේ ජාති(ක)වාදය හමුවේ පසුපසට තල්ලූ කෙරෙද්දී විමල් චම්පික වැන්නවුන් සිටියේ ආණ්ඩුව තුළ අති වරප‍්‍රසාධික තත්ත්වයකය.
එහෙත් දැන් ඒ සුන්දර පළමු වටය හමාරය. රාජපක්ෂ පාලනය ඒ පළමු වටය හමාර කළේ රටේ බොහෝ දේශපාලන චරිතවල කශේරුකාව බිඳ දමමිනි. ඊට විමල් මෙන්ම චම්පිකද ඇතුළත්ය. දයාසිරි ජයසේකර දක්වා වන දිග ලැයිස්තුවක් එහි තිබේ. මේ ලැයිස්තුවේ ඉන්නා කිසිකෙනකුට මේ වන විට තමන් ගේ යැයි කිව හැකි දේශපාලන අනන්‍යතාවක් ඉතිරිව නැති . ඒ වෙනුවට ඔවුන්ට සිදුව තිබෙනුයේ රාජපක්ෂ පාලනයේ හුදු රූකඩ ලෙස පැවතීමටය. රාජපක්ෂ පාලනය ඒ පළමු වටය හමාර කළේ රටේ බොහෝ දේශපාලන චරිත වල කශේරුකාව බිඳ දමමිනි. ඊට විමල් මෙන්ම චම්පිකද ඇතුළත්ය. දයාසිරි ජයසේකර දක්වා වන දිග ලැයිස්තුවක් එහි තිබේ. මේ ලැයිස්තුවේ ඉන්නා කිසිකෙනකුට මේ වන විට තමන්ගේ යැයි කිව හැකි දේශපාලන අනන්‍යතාවක් ඉතිරිව නැති . ඔවුනගේ උරුමය රාජපක්ෂ පිටපත අනුව රඟපෑම පමණි.



ඉදින් වීරවංශ රැම්පෝසාගමනය හමුවේ කරන්නේ එයයි. ඔහු එක් පසෙකින් රැම්පෝසාට දැඩි විරෝධයක් රටේ ඇති බව පෙන්වීමට තැත් දරයි . ජාත්‍යන්තරය හමුවේ සිය කි‍්‍රයාමාර්ග සාධාරණිකරණයට පාලකයාට එය ඉවහල් කර ගත හැකිය . ඉදින් යම් හෙයකින් එය අසාර්ථක වන්නේ නම් දේශපාලන පාඩුව ලබන්නේ වීරවංශය. කුමක් කලත් රජා ගොඩය. මේ අතර විමල් වීරවංශද ලැබී තිබෙන පිටියේ ජාතිකවාදී දේශපාලනය තුළ තමන්ට බලය ඇති බව පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගත හැකි දැයි බලයි .විශේෂයෙන්ම තමන්ද දර දිය ඇදි ජාති(ක)වාදී ධජය රාජපක්ෂ විසින් ඩැහැ ගනූ ලැබූ පසුව නිර්මාණශීලී ලෙස අලෙවි වෙද්දී වීරවංශ චම්පික වැන්නවුන්ට සිය දේශපාලන අනාගතය උදෙසා කිරීමට සිදුවනුයේ ජාති(ක)වාදී මතය තුළ තවමත් තමන් තීරක බව පෙන්වීමට උත්සාහ දැරීමයි’.



එහෙත් මෙහිදී ඔවුන්ගේ අසහාය නායකයා ඔවුන්ට වඩා සූක්ෂමය. දැන් බස් එක ගොස් බව විමල්ලා වටහා ගත යුතුය. පාලකයා මොවුන්ගෙන් තම කාරිය කර ගන්නා අතරේ ඔවුන්ට දේශපාලන වශයෙන් ස්වාධීන පැවැත්මක් සඳහා වන ඉඩ අහුරා දමයි. මහා චරිතයක් සේ රැඟුවද බොදු බලසේනා හිමිගේද භූමිකාව මෙයමය. මේ තත්ත්වය හමුවේ අපට දක්නට ඇත්තේ පාලකයාගේ කඹයේ දිගට නටනා රූකඩ රංචුවකි. ඉදින් විමල්ගේ රැම්පෝසාගමනය ලත් තැනම ලොප් වීම අහම්බයක්ද? කෙසේ වෙතත් අප පාලකයාට මෙන්ම ඔහුගේ මේ නැට්ටුවන්ටද ස්තුතිවන්ත විය යුතුය. ඒ හුළං ගසා පුම්බන ලද සිංහල ජාතිකවාදය යනු දේශපාලන උප්පරවැට්ටියක් බව මෙතරම් ඉක්මනට පෙන්වාදීම පිළිබඳවය.






- නුවන් උයද වික‍්‍රමසිංහ
 








MOST VIEWED VIDEO STORIES

MORE >>