නවතම සංගණන වාර්තා අනුව මෙරට ජනගහනය
October 30, 2025 12:19 pm
ශ්‍රී ලංකාවේ පවත්වන ජන සංගණන මාලාවේ 15 වන සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය 21,763,170 ක් බවට ගණනය කර තිබේ.
“ජන හා නිවාස සංගණනය 2024” හි ගණන් ගැනීමේ අදියර 2024 ඔක්තෝබර් මස සිට 2025 පෙබරවාරි දෙවන සතිය දක්වා සිදු කෙරිණි.
මෙම සංගණනයේ සංගණන කළ මෙහොත, 2024 දෙසැම්බර් 19 දින ආරම්භ වන මොහොත එනම් පැය 00:00 ක වූ බව සඳහන් වේ.
2012 ජන හා නිවාස සංගණනයේ දී වාර්තා වූ මුළු ජනගහනයට වඩා මෙවර ජනගහනය 1,403,731 වැඩිවීමක් පෙන්නුම් කර ඇත.
2001-2012 අන්තර් සංගණන කාල පරිච්ඡේදය සැළකූ විට ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය සියයට 0.7 කි.
මෙවර 2012-2024 අන්තර් සංගණන කාල පරිච්ඡේදය සැලකූ විට ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය සියයට 0.5 ක් වේ.
ඒ අනුව, මෙරට ජනගහන වර්ධන වේගය අඩු වූවද තවදුරටත් ජනගහනය වර්ධනය වෙමින් පවතින බව මෙයින් පැහැදිලි වේ.
ශ්‍රී ලංකාවේ පළාත් අනුව ජනගහනය සැලකුවිට මුළු ජනගහනයෙන් 28.1% ක වැඩිම ජනගහනයක් බස්නාහිර පළාතේ පදිංචිව සිටින අතර 5.3%ක් වූ අඩුම ජනගහනයක් පදිංචිව සිටිනුයේ උතුරු පළාතේය.
දිස්ත්‍රික්ක මට්ටමින් ජනගහන ව්‍යාප්තිය සැලකුවහොත් වැඩිම ජනගහනයක් ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින අතර එය 2,433,685 කි.
ඊළඟට වැඩිම ජනගහනයක් ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය 2,374,461 කි.
මේ අනුව මිලියන 2 කට වැඩි ජනගහනයක් පදිංචිව සිටිනුයේ මෙම දිස්ත්‍රික්ක දෙකේ පමණි.
ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක හැරුණු විට පෙර සංගණනවලදී මෙන්ම මෙවරද වැඩි ජනගහනයන් පිළිවෙලින් කුරුණෑගල (1,760,829), මහනුවර (1,461,269), කළුතර (1,305,552), රත්නපුර (1,145,138) සහ ගාල්ල (1,096,585) යන දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.
මේ සෑම දිස්ත්‍රික්කයකින්ම මිලියනයකට වැඩි ජනගහනයක් වාර්තා වී ඇත.
පෙර සංගණන වලදී මෙන්ම, මෙවරද දිවයිනේ ජනගහනය අඩු දිස්ත්‍රික්ක ලෙස උතුරු පළාතේ මුලතිව් (122,542), මන්නාරම (123,674), කිලිනොච්චි (136,434) සහ වවුනියා (172,257) දිස්ත්‍රික්ක වාර්තා වී තිබේ.
2.23% ක වැඩිම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වී ඇත්තේ මුලතිවු දිස්ත්‍රික්කයෙනි.
අවම සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක් වාර්තා වන්නේ වවුනියා දිස්ත්‍රික්කයෙනි. එය 0.01%ක් ලෙස දැක්වේ.
