වැලිගම ඝාතනයට ඇල්ලූ 07ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

වැලිගම ඝාතනයට ඇල්ලූ 07ක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

October 30, 2025   03:32 pm

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 07 දෙනෙකු නොවැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.

අදාළ සැකකරුවන් මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් චතුර දිසානායක මහතා හමුවට අද (30) ඉදිරිපත්කළ අවස්ථාවේ දී මෙම නියෝගය ලබාදුන්නේය.

මෙම ඝාතන සිද්ධියට අදාළව වෙඩික්කරු, යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් 9 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්ව සිටියි.

ඒ අතරින් වෙඩික්කරු හා යතුරුපැදිකරු හැර වෙඩික්කරුගේ බිරිඳ, කැකිරාවේදී සැඟව සිටීමට ආධාර අනුබල දුන් අයෙක්, බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදී වෙඩික්කරුට සහාය දුන් පුද්ගලයින් දෙදෙනෙක් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ඊට අමතරව වෙඩික්කරුට ඝාතනයට පෙර සහ පසු ප්‍රවාහන පහසුකම් සැපයූ ගාල්ල අගුළුගහ පදිංචි ත්‍රීරෝද රථ රියදුරෙක්, ඝාතනයට යොදාගත් යතුරුපැදිය ස්ටාටර් මෝටරය සවිකර අලුත්වැඩියාව කර දුන් වැලිගම වලානේ ගරාජ් හිමිකරු හා එම යතුරුපැදිය ඝාතකයින්ට ගෙනවිත් දුන් පොල්අතුමෝදර තරුණයෙක්ද අද මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණි. 

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් ප්‍රශ්නකර සිටියේ, වැලිගම පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හා අනෙකුත් සැකකරුවෝ සම්බන්ධයෙන් කුමන වගන්තිය යටතේ ක්‍රියා කරන්නට බලාපොරොත්තු වන්නේදැයි ද යන්නය.

ඊට පිළිතුරු ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරියට කරුණු වාර්තා කරන බව ඔවුහු පෙන්වා දුන්හ.

මේ අතර වැලිගම සභාපති ඝාතනයට අදාළව වෙඩික්කරු හා යතුරුපැදිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් දින 90ක රැදවුම් නියෝග මත රඳවා තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.

ඒ අනුව ඔවුන් ඊයේ (29) පස්වරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළේය.