උපකුලපතිවරයෙක් ඉල්ලා රජරට ආචාර්යවරු විරෝධයේ

උපකුලපතිවරයෙක් ඉල්ලා රජරට ආචාර්යවරු විරෝධයේ

October 30, 2025   05:30 pm

වසරකට ආසන්න කාලයක සිට රජරට විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙක් නොමැතිවීම මුල්කරගනිමින් එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් අද (30) විරොධතාවක් හා සංකේත වැඩවර්ජනයක් පවත්වනු ලැබීය.

උපකුලපතිවරයෙක් නොමැතිවීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සුබ සාධන කටයුතු මෙන්ම සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා, අධ්‍යන පර්යේෂණ හා අධ්‍යාපන කටයුතු නිසි ලෙස සිදු නොවන බව ඔවුන් පවසයි.

මෙම විරෝධතාවට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලන හා රජරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් ආචාර්යවරු එක්ව සිටියහ.

ඒ අනුව ඔවුන් අද අධ්‍යයන, පර්යේෂණ හා පරිපාලන සියලු කටයුතුවලින් ඉවත්ව සිටියහ.

මීට මාස හතරකට පමණ පෙර රජරට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් පාලක සභාවට උපකුලපතිවරයෙක් පත් කරන ලෙස ඉල්ලීමක් කර ඇත.

අනතුරුව පාලක සභාව විසින් උපකුලපති තනතුරට තුන්දෙනෙකු නිර්දේශ කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති, නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තවමත් ඒ පිළිබඳ අවසන් තීරණය ගෙන නොමැති බව සඳහන්.

ඔවුන් පවසා සිටින්නේ එළැඹෙන සඳුදා වනවිට විසඳුම් නොලැබුණහොත්, ආචාර්යවරුන් විසින් අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවය.