නව විදුලි ගාස්තු සංශෝධනය ගැන ඉඟියක්

නව විදුලි ගාස්තු සංශෝධනය ගැන ඉඟියක්

October 26, 2024   12:55 pm

මෙම වසරේ තුන්වැනි කාර්තුවට අදාළ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ යෝජනාව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදී තිබේ.

මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ, දෙසැම්බර් මාසයේදී සියලු අංශ සඳහා 6%ට මධ්‍යස්ථ අගයකින් විදුලි ගාස්තු සංශෝධනය වියහැකි බවයි. 

වසරේ සෑම කාර්තුවකම විදුලි ගාස්තු සංශෝධනය කෙරේ.

ඒ අනුව දෙසැම්බර් මාසයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිට මහජන උපයෝගීතා කොමිසම වෙත යොමුකර ඇත.

මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ සියයට 4ත් 11ත් අතර අගයකින් විදුලි ගාස්තු පහත දැමීමට යෝජනා කර ඇති බවයි.

එය සෑම අංශයකටම සියයට 6ක මධ්‍යස්ථ අගයක් වනු ඇති බවද පැවසීය.

අදාළ යෝජනා මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය නම් එම යෝජනා නැවත එළැඹෙන සඳුදා විදුලිබල මණ්ඩලය වෙත යොමු කරන බවත් එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

යෝජනා සියල්ල මහජන උපදේශනයකට යොමුකර අවසන් තීරණයක් ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසීය.

මෙම වසරේ පළමු කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය මාර්තු මස 4වැනි දින සිදුකළ අතර, එහිදී පොදුවේ සියලු ඛාණ්ඩ සඳහා සියයට 21.9කින් විදුලි ගාස්තු සංශෝධනය කළේය.

දෙවැනි කාර්තුවේ විදුලි සංශෝධනය පසුගිය ජූලි මස 16වැනිදා සිදුකළ අතර, එහිදී පොදුවේ සියලු ඛාණ්ඩ සඳහා සංශෝධනය කළ ප්‍රමාණය 22.5%කි.