ඒ ගැන මට කනගාටුයි - මම ජනතාවගෙන් සමාව අයදිනවා

ඒ ගැන මට කනගාටුයි - මම ජනතාවගෙන් සමාව අයදිනවා

July 13, 2014   10:00 pm

දෙරණ වාදපිටිය වැඩසටහනේදී පෘථග්ජන පුද්ගලයෙකු ලෙස තමන් හැසිරීම නිසා වැඩසටහනේ විරාමය අතර තුර ඇති වූ තත්ත්වය අනුමත නොකරන බව වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඉකුත් දා පැවැති දෙරණ වාදපිටිය වැඩසටහන අතරතුර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පළව ඇති මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින් ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඒ පිළිබඳව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙයි.

එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.



කනගාටුව ප‍්‍රකාශ කිරීම

පසුගියදා දෙරණ වාදපිටිය තුළදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව මේ වන විට මාධ්‍ය මගින් කතාබහට ලක් වෙමින් තිබේ. රූපවාහිනි නාලිකාවක සජීවී වැඩසටහනකදී කතා කළ යුතු භාෂාව, කතා විලාශය ඒ තුළ තිබිය යුතු සංයමය විනය හා ඉවසීමේ ගුණය ඉතා වැදගත්ය.

නමුත් එහිදී හරේන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා විසින් කතා කළ හා හැසිරුණු ආකාරය එම වැඩසටහන නැරඹූ පේ‍්‍රකෂකයින් හොදාකාරවම දනී. මා එහිදි ඉවසිය යුතු වූවත්, පෘථග්ජන පුද්ගලයෙකු ලෙස එහිදී මා හැසිරුණු ආකාරය මගින් වැඩසටහන අවසාන විරාමය තුළදී ඇති වූ කනගාටුදායක තත්ත්වය කෙසේවත් අනුමත කළ නොහැකි බව මා විශ්වාස කරමි.

විපක්ෂය විසින් චෝදනා කරනුයේ දයාසිරි ජයසේකර බලය ලැබුණු පසු බලය අයුතු ලෙස භාවිතා කරමින් හැසිරෙන බවයි. දයාසිරි ජයසේකර විපක්ෂයේ සිටියදීත් ජනතාව වෙනුවෙන් ජනතාවගේ පාර්ශවයේ සිට කටයුතු කළ පුද්ගලයෙකි. එමෙන්ම විපක්ෂයේ සිටියදී අපි පරමාදර්ශි චරිත ගැන කතා කළා. වර්තමානයේ ආණ්ඩු පක්ෂයේ සිටියදීද දයාසිරි ජයසේකර කිසිදිනක කිසි මොහොතක බලය, නිලය කිසි දිනක අයුතු ලෙස භාවිතා කර නොමැත. මා ලැබු ප‍්‍රධාන අමාත්‍යධූරය කිසි දිනක ජනතා පීඩක අවියක් ලෙස භාවිතා කර නොමැත.

එම රූපවාහිනී සංවාදයේදී හරීන් හරිද දයාසිරි හරිද යන්නට වඩා එම සිදුවීමේදී තමන් ආණ්ඩුපක්ෂ දේශපාලඥයෙකු ලෙස ජනතාවට වග කියන, ජනතා පරමාධිපත්‍යයට හිස නමන පුද්ගලයෙකු ලෙස එම ඇති වූ සිදුවීම සම්බන්ධව රටේ ජනතාවගෙනුත්, විශේෂයෙන් වයඹ ජනතාවගෙනුත් සමාව අයදීමි. එමෙන්ම එම සිදුවීම සම්බන්ධව මා දැඩි ලෙස කම්පාවට හා දැඩි වේදනාවට පත් වී සිටිමි.

වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙසත්, අධ්‍යාපන ඇතිවරයා ලෙසත් දරුවන්ට ආදර්ශයක් වීම පිළිබඳව සිතා බැලීමේදී මෙම සිදුවීම මඟින් මාගේ හදවතේ දැඩි වේදනාවක් හටගෙන තිබේ. දරුවන් ඉදිරියට ගොස් ආදර්ශයන් දීම පිළිබඳව කතා බහ කිරීමේදී මෙම සිදුවීම මාගේ හදවතට සදාකාලික රිදුම් දීම වළකාලිය නොහැකිවනු ඇත.

එකිනෙකාට මාධ්‍ය මගින් චෝදනා කරගන්නවා වෙනුවට ජනතාවාදී දේශපාලඥයෙකු ලෙසත්, ආණ්ඩු පක්ෂ දේශපාලඥයෙකු ලෙසත් මා කල්පනා කරනුයේ සිදු වූ සිදුවීම කිසිලෙසකින්වත් ජනතාව අනුමත නොකරණ බවය. කවුරුන් විසින් හෝ අපහාස උපහාස කළත් ඒවා ඉවසීමේ ගුණය දේශපාලඥයෙකු ලෙස තිබිය යුතු බව මා තරයේ විශ්වාස කරන අතර, මීට වඩා වගකීමන් හැසිරිය යුතු බවද මා විශ්වාස කරමි.

එබැවින් එම සිදුවීම සම්බන්ධව මා දැඩි ලෙස කනගාටුවට පත්වන අතර, ඒ සම්බන්ධව ජනතාවගෙන් සමාව අයදිමි.



මෙයට
නීතිඥ දයාසිරි ජයසේකර
වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය.