වීඩියෝ: හරීන් කැමතියි - දයාසිරි කැමති නෑ - එදා දේ ගැන මෙදා කතා මෙහෙමයි

වීඩියෝ: හරීන් කැමතියි - දයාසිරි කැමති නෑ - එදා දේ ගැන මෙදා කතා මෙහෙමයි

July 10, 2014   05:09 pm

දෙරණ වාදපිටිය වැඩසටහනේදී ඇතිවූ තත්ත්වය පිළිබඳ තමන් අතිශය කනගාටුවට පත්වන බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

වාග් ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්විය යුත්තේ වාග්ප්‍රහාර මගින්ම බව තමන් දැඩි ලෙස විශ්වාස කරන බවත්, එසේ වුවද අවාසනාවන්ත තත්ත්වයක් උද්ගතවූ බවත් මන්ත්‍රීවරයා අද දෙරණට කියා සිටියේය.

දයාසිරි ජයසේකර ප්‍රධාන අමාත්‍යවරයා තමන් ඉතා ළඟින් ආශ්‍රය කළ කෙනෙකු බැවින් තමාගේ හිතේ යම් දුකක්ද පවතින බවත්, තත්ත්වය එතරම් දුරදිගයාමට තරම් තමාගෙන් වරදක්වූ බවක් නොසිතෙන බවත් හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.

වාදපිටිය වැඩසටහන අතරවාරයේ විවේක කාලයේදී ‘මං තමුසෙට ඊළඟ වටේදි දෙන්නම්“කියලා කියවුණු බවත්, තවත් විටෙක ‘‘අයිසෙ ගෙඹි වැඩ කරන්න එපා“කියලා කියූ බවත් ඔහු සිහිපත් කළේය.

එහෙත් එලෙස කියූ ‘අයිසෙ‘යන වචනයට දයාසිරි මහතාට තරහ ගොස් ‘‘මං මහ ඇමතිවරයෙක්.මට අයිසෙ කියන්න තමුසෙ කවුද?කියා පහරදෙන්නට පැමිණි බවත්, ඒ මොහොතේ තමන්ගේ ආවේගය පාලනය කර ගැනීමටත්,ආරක්ෂාවටත් තමන්ටද ප්‍රතිචාර දැක්වීමට සිදුවූ බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

තමාගේ පැත්තෙන් බලද්දී ආවේගය පිටකිරීමට ගොස් ඒ වචනය පිටවෙන්නට ඇති බවත්, එහෙත් තමා ‘අයිසෙ‘යන වචනය එතරම් නරක වචනයක් බව මේ මොහොතේත් නොදන්නා බවත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

දෙරණ යන සත්‍යය ප්‍රකාශ කරන මාධ්‍යයක් බැවින් ජනතාවට සත්‍යය දැනගැනීමට ආන්දෝලනයට තුඩුදුන් එම වාදපිටිය වැඩසටහන අදාළ සිදුවීමද සහිතව සම්පූර්ණයෙන් ප්‍රචාරය කරන්නේනම් තමන් වඩාත් කැමති බව හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එහෙත් මේ පිළිබඳ අද දෙරණ කළ විමසීමකදී වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ තමන් එකී වීඩියෝ දර්ශන සම්පූර්ණයෙන්ම පෙන්වීමට එකඟ නොවන බවයි.

මෙම සිදුවීම බොක්සිං තරඟයක් හෝ ෆයිට් එකක් නොවන බැවින් මෙම අමිහිරි සිදුවීම ප්‍රචාරය කිරීමෙන් සිදුවන්නේ ජනතාවට කුණු රසයක් ඇති කිරීම පමණක් බවත්, එයට තමන් අකමැති බවත් ජයසේකර මහතා සඳහන් කළේය.

වාදපිටිය වැඩසටහනේ අවසාන මිනිත්තු කිහිපය තුළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හැසිරුණේ කොහොමද කියන කාරණය මේවන විට ප්‍රචාරයවී ඇති වීඩියෝ දසුන් මගින් පැහැදිලිවන බවත්, තමන් සිටියේ තමන්ගේ වාරය තුළ නිසි පරිදි තර්ක බිඳිමින් තමාගේ කාලය භාවිතා කරමින් බවත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

මෙම වැඩසටහන ආරම්භයේ සිටම තමුසෙ,අයිසෙ,නපුංසක ආදී නොසුදුසු වචන භාවිතා කරමින් අමිහිරි සිදුවීමක් ඇති කිරීමට ක්‍රියා කළේ කවුරුන්ද යන්න පිළිබඳ සිහි කල්පනාවෙන් වීඩියෝව නරඹන ඕනෑම අයෙකුට වැටහෙන බවත් ජයසේකර මහතා සඳහන් කළේය.

තමන් ගහගෙන මරාගෙන දේශපාලනය කරන කෙනෙකු නොවන බවත්, ඒ නිසාම පෞද්ගලිකව වාද විවාද පිළිබඳ අවධානය යොමුකිරීමේදී මෙවැනි දෙයක් ඇතිවීම තුළින් වැරදි පූර්වාදර්ශයක් රටට දෙන බවත්, ඒ නිසාම එම සිදුවීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළේය.

එසේ වුවද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පවසන පරිදි තමන් පළමුවෙන් ඔහුට පහරදෙන්නට ගිය බවට කරන චෝදනාවද මුළුමනින්ම තමන් ප්‍රතික්ෂේප කරන බවත්, ජනතාව සත්‍යය දැනගනු ඇති බවත්, වයඹ ජනතාව තමන් පිළිබඳ ඉදිරියේදීද තීරණයක් බුද්ධිමත්ව ගනු ඇති බවත් වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.