රුමේනියා යවන විදෙස් රැකියා ජාවාරමක තතු එළියට

රුමේනියා යවන විදෙස් රැකියා ජාවාරමක තතු එළියට

April 26, 2024   04:43 pm

කූට ලේඛන හා නිල මුද්‍රා ව්‍යාජ අයුරින් භාවිතා කරමින් තරුණයින් පිරිසක් රුමේනියාවේ රැකියා සඳහා යැවීමට උත්සහා කළ පුද්ගලයෙකු රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටයුතු කර තිබේ.

අප්‍රේල් 24 වන දා කිලිනොච්චිය ප්‍රදේශයේ රැකියා නියෝජිතායතනයක් මාර්ගයෙන්, රුමේනියාවේ රැකියා සඳහා යාමට පැමිණි තරුණයින් පස් දෙනෙකුගේ ලේඛන පරික්ෂා කිරීමේදී ඔවුන් පිළිබඳ සැකසිතී ඇත.

පසුව කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් ඔවුන් සමග පැමිණි ඒජන්සි ආයතනයේ නියෝජිතයා රඳවාගෙන ප්‍රශ්න කර තිබේ.

එහිදී එම රැකියා නියෝජිතායතනය නීතිවිරෝධි ආයතනයක් බවට අනාවරණය වී ඇත.

එබැවින් විදේශ ගතවීමට පැමිණි තරුණයින්ගේ කාර්යාංශ ලියාපදිංචිය ඇතුළු ලේඛනද නිලධාරීන් විසින් දැඩිව පරීක්ෂා කර ඇති අතර, එහිදි කාර්යාංශයේ ආරක්ෂිත මුද්දර හා නිල මුද්‍රා ව්‍යාජ අයුරින් උපයෝගි කරගෙන ඇති බවද හෙළි වී තිබේ.

එසේම නිලධාරීන් වෙත ඉදිරිපත් කළ රැමේනියා වීසාද ව්‍යාජ වීසා බවට කරුණු අනාවරණය වී ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලද අතර, ඔහුට සහාය වු තවත් පුද්ගලයෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින (26) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.