රාජපක්ෂ රෙජීමය මේ ලෝකයේ මෙතෙක් පහල වූ පහත් සහ තිරිසන්ම ආණ්ඩුවයි

රාජපක්ෂ රෙජීමය මේ ලෝකයේ මෙතෙක් පහල වූ පහත් සහ තිරිසන්ම ආණ්ඩුවයි

August 3, 2013   04:06 pm

බොන්නට වතුර ටිකක් ඉල්ලූ අහිංසක ජනතාවට හිත් පිත් නැති උණ්ඩ වරුෂාවකින් පිළිතුරු දුන් රාජපක්ෂ රෙජීමය, මේ ලෝකයේ මෙතෙක් පහල වූ පහත් සහ තිරිසන්ම ආණ්ඩුව බව සිය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

වැලිවේරිය නගරයේදී පෙරේදා ඇති වූ සිද්ධිය පිළිබඳව මාධ්‍යනිවේදනයක් නිකුත් කරමින් හෙතෙම මේ බව අවධාරණය කරයි.

එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

බොන්නට වතුර ටිකක් ඉල්ලූ අහිංසක ජනතාවට හිත් පිත් නැති උණ්ඩ වරුෂාවකින් පිළිතුරු දුන් රාජපක්ෂ රෙජීමය, මේ ලෝකයේ මෙතෙක් පහළ වූ පහත් සහ තිරිසන්ම ආණ්ඩුව බව සිය ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබේ. ආණ්ඩුව රතුපස්වල ජනතා ඉල්ලීම පිලිබඳ ප්‍රතික්‍රියා දැක්වූ ආකාරය එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින අතර එසේම එය ශිෂ්ඨත්වය සහ මනුෂ්‍යත්වය හඳුනන සමස්ථ ලෝකවාසී සියලු දෙනාම හෙළාදැකිය යුතු බව අවධාරණය කරමි.

මෙම සිද්ධියේදී සිදුකළ හමුදා වෙඩි තැබීමෙන් අසල ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු මියගිය අතර එයින් පැහැදිලිව පෙනී යන්නේ වතුර ඉල්ලූ ජනතාවට රාජපක්ෂ රෙජීමය හමුදාව ලවා නීති විරෝධී ලෙස හිතු හිතු අතේ එල්ල කළ උණ්ඩ වැස්සකින් පිළිතුරු දී ඇති බවයි.

මේ මගින් ඔප්පුවන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ සංවේදී තාත්තලාට සහ බාප්පලාට මේ රටේ දරුවන්ගේ ජීවිතය තඹ දොයිතුවකටවත් වටින්නේ නැති බවයි.

දැනට ලැබෙන තොරතුරු වලට අනුව මේ සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස්, 34 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් අතරින් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද පැවසේ.

එසේම මෙහිදී එම සිද්ධිය වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදීන්ද හිංසනයේ ඉලක්කගත ගොදුරු බවට පත්වී තිබේ. මාධ්‍ය නිදහසට එල්ල කළ එම ප්‍රහාරයද අප පක්ෂය දැඩි ලෙස හෙළාදකින අතර සිද්ධියෙන් මියගිය කේ. ඒ. ඩී. අකිල දිනේෂ් සිසුවාගේ පවුලේ අයට එක්සත් ජාතික පක්ෂයේ සාතිශය සංවේගය පළ කරන අතර තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි.

බොන්නට වතුර ඉල්ලා රතුපස්වල ජනතාව කළ ඉල්ලීම සම්පූර්ණයෙන්ම සිවිල් ජන ජීවිතයට අදාළ කටයුත්තක් වන අතර ඔවුන් කිසිසේත්ම අවි අමෝරා ගත් මිනීමරු ත්‍රස්තවාදීන් නොවන බව කුඩා දරුවෙකුට වුවද පැහැදිලි වේ.

එබැවින් මෙහිදී අවශ්‍ය වූයේ පොලිස් මැදිහත්වීමක් පමණකි. ඒ වෙනුවට රාජපක්ෂ රෙජීමය යුද හමුදාව යොදවා සිද්ධියේ ප්‍රමාණය ඉක්මවා ප්‍රතිචාර දක්වමින් තම රටේම නිරායුධ පුරවැසියන්ට වෙඩි තැබුවේ මේ රට “මිලිටරීකරණය” කිරීමේ සැලැස්මේ තවත් පියවරක් වශයෙනි.

එසේම බොන්නට වතුර ඉල්ලූ විට උණ්ඩ වරුෂාවකින් පිළිතුරු දෙන මට්ටමට මේ රටේ රණවිරුවන් පත්කිරීමට නියෝග දුන් ආණ්ඩුවේ ඉහළ බලධාරීන්, රණවිරුවන් පිළිබඳ ජනතාව තුළ පැවති යහපත් ආකල්පය බරපතළ ලෙස විනාශ කර තිබේ.

එදා වීරෝධාර රණවිරුවා අද ජනතා ද්‍රෝහියෙකු බවට පත් කරවන්නට කැස කවන රාජපක්ෂ වෑයම එක්සත් ජාතික පක්ෂය දැඩි වේදනාවෙන් යුතුව හෙළාදකින අතර මේ ආණ්ඩුව ජාතියේ මුර දේවතාවන් වූ රණවිරුවන්ව නාකි සුද්දියන්ට පොකිරිස්සන් තම්බන්නට යොදා ගැනීමෙන් නොනැවතී ඔවුන් තමන්ගේම නිරායුධ පුරවැසියන්ට වෙඩි තබන මිනීමරුවන් පිරිසක් බවට පත්කර තිබේ.

එබැවින් රණවිරුවන් අපකීර්තියට පත්කරන්නේ මේ රාජපක්ෂ රෙජීමයම මිස “ඉගිලෙන මාළුවෝ” චිත්‍රපටයට දායක වූ කලාකරුවන් නොවන බව දැඩි ලෙස අවධාරණය කරමි.

රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට යුද හමුදාපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇති බවට වාර්තා පළවී තිබුණි. සත්‍ය වශයෙන්ම, නව යුද හමුදාපතිවරයා වැඩබාර ගත් පළමු දිනයේදීම හමුදාව යොදවා සිදුකළ මේ අමානුෂික ක්‍රියාවට අණ දුන්නේ නව යුධ හමුදාපතිවරයාද?

එසේත් නැතිනම් වෙනත් සුපිරි බලධාරියෙක්ද? යන්න අදාළ පරීක්ෂණය මගින් මේ රටේ ජනතාවට හෙළිදරව් කර, යුද හමුදාවට එල්ල වූ කළු පැල්ලම මකා දමන්නට අහිනව යුධ හමුදාපතිවරයා ක්‍රියා කරන්නේද යන්න පිළිබඳවද අපි නිරන්තර අවධානයෙන් පසුවෙමු.