වරද කර්මාන්ත ශාලාවේ නම් එය වසා දැමීමට ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි තීන්දුවක් ගත්තා

වරද කර්මාන්ත ශාලාවේ නම් එය වසා දැමීමට ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි තීන්දුවක් ගත්තා

August 2, 2013   11:26 pm

ගම්පහ ප්‍රදේශයේ ක්‍රියාත්මක මත භේදයට තුඩුදුන් කර්මාන්ත ශාලාවෙන් නිකුත් වන රසායනික ද්‍රව්‍ය නිසා පානීය ජලයට හානියක් වී ඇති නම් එම කර්මාන්ත ශාලාව වසා දැමීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි තීන්දුවක් ගෙන තිබූ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පවසයි.

අදාළ ගැටලුව ගැන ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, මෙම ගැටලුවට මුහුණ පා සිටින ජනතාව ඇතුළු පාර්ශව කිහිපයක සහභාගිත්වයෙන් ඊයේ පස්වරුවේ ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බව හෙතෙම කීවේය.

සාකච්ඡාවේදී ගත් තීරණයකට අනූව ඒ ගැන පාර්ශව කිහිපයක සහයෙන් පරීක්ෂණ පවත්වා ලබාදෙන වාර්තාව සැලකිල්ලට ගෙන කර්මාන්ත ශාලාවෙන් ජලයට හානියක් වී නම් එය අනිවාර්යයෙන්ම වසා දැමිය යුතු ස්ථාවරයේ ආරක්ෂක ලේකම්වරයා සිටි නමුත් අවාසනාවකට එය භුක්ති විඳීමට නොහැකි වූ බව සේනානායක මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් එම තීරණයට පටහැනිව ගිය පිරිසක් කඩාකප්පල්කාරී ලෙස හැසිරෙමින් කටයුතු කළ බව වැලිවේරිය නගරයේදී ඊයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු අද එම ස්ථානයට ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

තමන් එම ජනතාව විඳි දුක පැහැදිලිව දුටු බවත් මේනිසා උද්ඝෝෂණ කරන ජනතාව අවම බලය යොදාවත් ඉවත් කළ හැකිව තිබියදී එසේ නොකළ බවත් හෙතෙම එහිදී කීවේය.

කෙසේ හෝ ගම්පහ වැලිවේරිය, නැදුන්ගමුව ප්‍රදේශයේ ඇති කර්මාන්ත ශාලාවකින් පිටකෙරෙන විෂ රසායනික ද්‍රව්‍ය නිසා පානීය ජලය දූෂ්‍ය වී ඇති බවට චෝදනා නගමින් රතු පස්වල ජනතාව පාරට බැස විරෝධතා ආරම්භ කළේ පසුගිය 27දාය.

විරෝධතා දැක්වීමට පෙර එම ගැටලුවට නිසි විසදුම් ලබාදෙන ලෙස ප්‍රදේශවාසීහූ අවස්ථා කිහිපයකදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව බලධාරීන් සමග පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු විසදුමක් නොලැබීම නිසා ප්‍රදේශවාසීන් පසුගිය 27 වැනිදා වැලිවේරිය ප්‍රදේශයෙන් නව නුවර මාර්ගය හරස් කර විරෝධතාවයක් ආරම්භ කරන ලදී.

අනතුරුව පසුගිය 28 වැනිදා ඔවුහු වැලිවේරිය , නැදුන්ගමුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාව ඉදිරිපිටද විරෝධතාවයක් ආරම්භ කළහ.

එසේම ඔවුන් ඊයේ දහවල් සිට රාත්‍රී 9.00 පමණ වන තුරුම කඩුවෙල බැලුම්මහර, නවනුවර මාර්ගයේ වැලිවේරිය හන්දියේ උද්ඝෝෂණයේ නිරත වූ අතර මේ නිසා මාර්ගය පැය කිහිපයක් වසා තැබීමටද සිදුවිය.

පසුව ආරක්ෂක අංශ විසින් මාර්ගයෙන් ඉවත් වන්නැයි ජනතාවට දැනුම්දීමත් සමඟ ජනතාව සහ පොලීසිය අතර කිසියම් උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තේය.

එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා යුධ හමුදාව ද කැඳවූ අතර එම අවස්ථාවේදී උණුසුම්කාරී තත්ත්වය ගැටුමක් බවට පත්විය.

එහි ප්‍රතිඵලයක් ලෙස ආරක්ෂක අංශ විසින් ජනතාවට පහරදෙමින් පිරිස විසුරුවා හැරීමට උත්සාහ කරද්දී ප්‍රදේශවාසීන් විසින් පෙරළා පොලීසියට ද ගල්මුල් ප්‍රහාර එල්ල කරන ලදී.

එම අවස්ථාවේ ආරක්ෂක අංශ සිදුකළ වෙඩිතැබීමෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලැබූ බව අනාවරණය වූ අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

තුවාල ලැබූ සෙසු අය ගම්පහ, වතුපිටිවල, උඩුපිල, රාගම රෝහල්වල ප්‍රතිකාර ලබයි. ගැටුමේදී 16 හැවිරිදි ළමයෙකුද මිය ගියේය.

කෙසේ වෙතත් තම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් අනතුරුව බැහැර කෙරෙන ජලය නිසි ක්‍රමවේදයන්ට අනුව පිරිපහදු කිරීමෙන් පසු පරිසරයට මුදාහරින බව රතුපස්වල ජල ගැටලුවට පාදක වී ඇති කර්මාන්ත ශාලාවේ කළමනාකාරීත්වය පවසයි.

එම වතුරවල සංයුතිය අවම වශයෙන් මාස 3 ට සැරයක් පරීක්ෂා කර බලා එහි අනුකූලතාවය සහතික කර මිස බැහැර නොකරන බව ඩී.පී.එල්.සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මහේෂ රණසෝම මහතා පැවසීය.

කිසි විටෙකත් බැහැර කරන වතුර නිසි ප්‍රමිතියට පිටින් ගිහින් නැති බව තමන් වගකීමෙන් යුතුව පවසන බව හෙතෙම සඳහන් කළේය.

එසේම මෙම ප්‍රදේශයේ පානීය ජලය පිළිබඳ ගැටලුවක් පවත්නා බවත්, එය පී.එච් අගය අඩුවීම කියන ප්‍රශ්නය තම ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය සමග බැඳී ඇති බවක් මෙතෙක් තහවුරු වී නොමැති බව හෙ‍තෙම අවධාරණය කළේය.

මේ අතර රතුපස්වල ප්‍රදේශයේ ජල ගැටලුව සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

මේ වනවිට වැලිවේරිය අවට ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් පවතින අතර ප්‍රදේශයේ ආරක්ෂාවට පොලීසියට අමතරව ආරක්ෂක හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද යොදා ඇති බව පොලීසිය සඳහන් කළේය.