වැලිවේරියේ වෙඩි තැබීම ගැන යුද හමුදාපති අණින් විමර්ශනයක්

වැලිවේරියේ වෙඩි තැබීම ගැන යුද හමුදාපති අණින් විමර්ශනයක්

August 2, 2013   09:36 pm

ගම්පහ වැලිවේරියේ ඇති වූ උණුසුම් වාතාවරණයේදී යුද හමුදාව විසින් සිදුකළැයි කියන වෙඩි තැබීම සම්බන්ධයෙන් සොයාබලා විමර්ශනයක් සිදුකිරීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා විසින් කමිටුවක් පත්කර තිබේ.

මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති එම කමිටුවට නීති නිලධාරියෙකු ඇතුළු හමුදාවේ ඉහළ නිලධාරීන් 5 දෙනෙකු ඇතුළත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.

ගම්පහ වැලිවේරිය නගරයේදී ඊයේ ජනතා උද්ඝෝෂණය අතරවාරයේ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ සිදුවූ වෙඩි තැබීමකදී 16 හැවිරිදි ළමයෙකු මියගොස් තවත් 30ට අධික සංඛ්‍යාවක් තුවාල ලැබීය.

එහිදී යුද හමුදාව විසින් සිදුකළ වෙඩි තැබීම ගැන චෝදනා එල්ල වී ඇති අතර ඒ අනුව අදාළ සිද්ධිය ගැන සොයා බලා විමර්ශනයක් කිරීම නව කමිටුවේ අරමුණය.