ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් දෙන්නේ වෙඩි උණ්ඩවලින් ද?

ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් දෙන්නේ වෙඩි උණ්ඩවලින් ද?

August 2, 2013   02:50 pm

බීමට පිරිසිදු ජලය ඉල්ලා හඬ නැඟු වැලිවේරියේ ජනතාවට ආණ්ඩුව උත්තර දුන්නේ බැටන් පොලූවලින් බවත් ඊට පෙර මාධ්‍යවේදීන්ගේ කැමරා උදුරාගෙන ”මීඩියාවල ඉන්නේ බල්ලෝ, මීඩියාවල බල්ලෝ තමයි ප‍්‍රශ්නය අවුල් කරන්නේ” යැයි කියමින් මාධ්‍යවේදීන්ටද පහර දුන් බවත් ජ.වි‍.පෙ. ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

පිරිසිදු ජලය ලබාදෙන ලෙසත් ජලය අපිරිසිදු නොකරන ලෙසත් ඉල්ලා වැලිවේරිය, රතුපස්වල ජනතාව දින කිහිපයක් තිස්සේ පවත්වාගෙන ආ උද්ඝෝෂණයට ඊයේ එල්ල වූ ප්‍රහාරය පිළිබඳව කරුණු දැක්වීම සඳහා කොළඹදී අද (02) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

විජිත හේරත් මහතා එම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් මෙසේද කීවේය.

රතුපස්වල ජනතාව බොන්න වතුර ඉල්ලලා දින ගණනාවක් තිස්සේ අරගලයක් කළා. උද්ඝෝෂණවල යෙදුනා. ඔවුන් ඉල්ලූවේ තමන්ගේ දෛනික කටයුතුවලට සහ බීමට පිරිසිදු වතුරයි.

ඒත් පිරිසිදු වතුර ඉල්ලපු ජනතාවට ආණ්ඩුව උත්තර දුන්නේ හමුදාව ලවා වෙඩි තැබීමෙන්, බැටන් පොලූ වලින් පහර දීමෙන්, අතපය කඩමින්. අවසානයේදී පුද්ගලයින් මරා දමමින්.

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ හමුදාව එල්ල කළ ම්ලේච්ඡ ප‍්‍රහාරය හෙළා දකිනවා. ඒ වගේම පුද්ගලයින්ට වෙඩි තබා මරා දැමීම හෙළා දකිනවා. ඒ වගේම මියගිය තරුණයින් වෙනුවෙන් ඥාතීන්ට ශෝකය කනගාටුව පළ කරනවා.

මේ ප‍්‍රශ්නය ආරම්භ වුණේ මීට සති දෙකකට පමණ කලින්. පසුගිය 17 වනදා ප‍්‍රදේශවාසීන් තමන්ගේ ළිංවල ජලය පානය කරන්න බැහැ කියලා තේරුම් ගත්තා. ඔවුන්ට සමේ රෝග ඇතිවුණා. කැස්ස හැදුණා. විවිධ රෝග ලක්‍ෂණ මතුවුණා.

ඒ නිසා ඔවුන් පෞද්ගලික ආයතන හරහා තමන්ගේ ළිංවල ජලය පරීක්‍ෂාවට ලක්කළා. එම පරීක්‍ෂණවලින් තහවුරු වුණා ජලයේ පී.එච්. අගය ඉතාම අඩු බවත් ඒවා බීමට නුසුදුසු බවත්. මහර ප‍්‍රාදේශීය ලේකම්තුමිය සහ ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරියට වැලිවේරිය - රතුපස්වල ජනතාව මේ බව දැනුම් දුන්නා.

නමුත් ආණ්ඩුව එම ගැටළුවට විසඳුම් ලබාදුන්නේ නැහැ. අවම වශයෙන් එම ප‍්‍රදේශයේ ළිං වතුර බීමට සුදුසුද නැද්ද, ආම්ලිකතාවය අඩුද වැඩිද කියලා පරීක්‍ෂණ කළේ නැහැ. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළේ නැහැ. නමුත් ආණ්ඩුව කියනවා විසඳුම් දුන්නා කියලා.

අඩුම තරමේ අපහසුතාවයට පත්වී සිටින ගම් දහයක පමණ ජනතාව මේ පිළිබඳව දැනුවත් කළේ නැහැ. ආණ්ඩුවේ බලධාරීන් නිවැරදි සොයා බැලීමක් කළේ නැහැ. ප‍්‍රදේශවාසීන් සාකච්ඡා ඉල්ලූවා. සාකච්ඡා ලබාදෙන බවට ආණ්ඩුව බොරු පොරොන්දු දුන්නා. එම සාකච්ඡා නිවැරදිව සිදුකළේ නැහැ.

පසුගිය සඳුදා බැසිල් රාජපක්‍ෂ සාකච්ඡාවක් සංවිධානය කර තිබුණා. නමුත් ඔහු සාකච්ඡාවට ආවේ නැහැ. නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න, රජයේ නිලධාරීන් සහ ප‍්‍රදේශවාසීන් සමඟ සාකච්ඡාවක් සිදුකළා.

එහිදී පරීක්‍ෂණ පවත්වන්න එකඟ වුණා. පරීක්‍ෂණ වාර්තාව සති දෙකකින් දෙනව කිව්වා. නමුත් ගැටලුවට පදනම් වෙලා තියෙන කර්මාන්ත ශාලාව තාවකාලිකව හෝ වහන්න තීරණය ගත්තේ නැහැ.

ප‍්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ මෙම කර්මාන්ත ශාලාව වසා දමන්න කියලා. නමුත් සාකච්ඡාවලින් කර්මාන්තශාලාව වහන්න තීරණ ගත්තේ නැහැ. බලධාරීන් ප‍්‍රශ්නය මග හැරියා.

පසුගිය බ‍්‍රහස්පතින්දා කැබිනට් එක රැස්වුණා. කැබිනට් මණ්ඩලයට තීරණයක් ගන්න පුළුවන්කම තිබුණා. මෙය මුළු රටටම දැනෙන ප‍්‍රශ්නයක්. මාධ්‍ය හරහා ඕනෑතරම් කතා බහට ලක්වී තිබුණා.

මේ හේතු නිසා ජනතාව බොරු පොරොන්දු පිළිබඳ විශ්වාස තැබුවේ නැහැ. ප‍්‍රදේශවාසීන් පාරට බැස්සා. මර්වින් සිල්වා ඇමතිවරයා එතැනට ගියා. නමුත් එතැනදී සාකච්ඡා කළේ ආයතනයේ සිරවී තිබුණු රසායන ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 3ක් එළියට ගන්න එක ගැනයි.

ඇමතිවරයා උත්සාහ කළේ ප‍්‍රශ්නය විසඳන්න නොවේ. ඉන් අනතුරුව උසාවි ක‍්‍රියාමාර්ගවලට ගියා. නමුත් පොලීසිය කරුණු ඉදිරිපත් කළේ මහජන පීඩාව වැළැක්වීම පදනම් කරගෙන නොවේ.

ප‍්‍රදේශවාසීන් පොලීසියට පැමිණිලි කළේ කර්මාන්ත ශාලාවෙන් විෂ රසායන ද්‍රව්‍ය අපද්‍රව්‍ය පරිසරයට මුදාහරිනවා කියලයි. නමුත් පොලීසිය උසාවියට නිවැරදි ලෙස කරුණු ඉදිරිපත් කළේ නැහැ. ඒ නිසා උසාවියට සාධාරණ ලෙස තීන්දුවක් දෙන්න බැරිවුණා. නඩු තීන්දුව ලබන 22 වැනිදා දක්වා කල්දාන්න සිදුවුණා.

ප‍්‍රදේශවාසීන් දිගින් දිගටම උද්ඝෝෂණ කළා. ප‍්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක් මාරාන්තික උපවාසයක් කළා. විසඳුම් නැති නිසා ඊයේ උදේ ප‍්‍රදේශවාසීන් ගම් පිටින් පාරට බැස්සා. සාමකාමී ලෙස උද්ඝෝෂණය ගෙනගියා. එය මානුෂික සටනක්.

ඔවුන් ඉල්ලූවේ පිරිසිදු ජල අයිතියයි. මුලින්ම කී‍්‍රඩා පිටියට රැස්වුණා. ප‍්‍රදේශවාසීන් අතේ ආයුධ තිබුණේ නැහැ. ඔවුන් කළේ හමුදාවට විරුද්ධව සන්නද්ධ සටනක් නොවේ. වයසක අම්මලා තාත්තලා, ගැබ්බර මව්වරුන් පාරට බැස්සේ තමන්ට ජීවත්වීම පිළිබඳ ප‍්‍රශ්නයක් මතුවී තිබෙන නිසයි. එයට ආණ්ඩුව සාධාරණ විසඳුම් ලබාදුන්නේ නැහැ.

ආණ්ඩුවේ උත්තරය වුණේ යුද හමුදාව විශේෂ කාර්ය බලකාය, පොලීසිය යොදා බැටන් පොලූවලින් වැලිවේරිය, රතුපස්වල ජනතාවට පහර දීමයි. තුවක්කුවලින් වෙඩි තැබීමයි.

හමුදාව පළමුවෙන් කළේ මාධ්‍යවේදීන් ඉවත්කරන එකයි. මාධ්‍යවේදීන්ගේ කැමරා උදුර ගත්තා. ”මීඩියාවල ඉන්නේ බල්ලෝ, මීඩියාවල බල්ලෝ තමයි ප‍්‍රශ්නය අවුල් කරන්නේ” කියලා හමුදාව මාධ්‍යවේදීන්ට ලයිට් කණුවලට හේත්තු කරලා පහර දුන්නා.

අද පත්තරේ මාධ්‍යවේදියෙක් තවමත් ගම්පහ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. මාධ්‍යවේදීන් වාහනවල දාල එම ස්ථානයෙන් ඉවත් කළා. වීදි ලාම්පුවලට වෙඩි තබා කඩලා දැම්මා. ඉන් පස්සේ තමයි පහර දෙන්න පටන් ගත්තේ.

ඒ අසල තිබුණු කතෝලික දේවස්ථානයට පැනලා ඇතුළේ හිටපු පුද්ගලයින් ඇදලා අරන් පහර දුන්නා. පල්ලියේ සිට වෙඩි තැබීම් සිදුකළා. සිද්ධියෙන් නිශ්චිතවම එක් අයෙක් මිය ගිහින් තිබෙනවා. ඔහු අවුරුදු 16ක තරුණයෙක්. තවත් හතර දෙනෙක් මරණයට පත්වෙලා කියලා තොරතුරු තිබෙනවා.

පොලීසිය, රෝහල් නිවැරදි තොරතුරු ලබාදෙන්නේ නැහැ. ප‍්‍රදේශයේ ජනතාව බලාගෙන ඉන්නවා තමන්ගේ ඥාතීන්, දරුවන් ගෙදර එනකන්. එම ප‍්‍රදේශය හමුදාව දාලා, බැරැක්ක දාලා හමුදාකරණය කරලා තිබෙන්නේ.

පහරදීමෙන් පස්සෙත් ගෙවල්වල හිටපු අය පාරට ගෙන ගොස් පහර දෙන්න පටන් ගත්තා. ඊයේ රාතී‍්‍රයේ වෙඩි තැබීම, පහරදීම් දිගටම සිදුවුණා. ඒ ප‍්‍රදේශයේ සම්පූර්ණ භීෂණයක් ඇති කරලයි තිබෙන්නේ.

ඊයේ හවස් වනවිට විසඳුම් දුන්නා කියලා ආණ්ඩුව කිව්වා. එයිනුත් කියවුණේ නැවත පරීක්‍ෂණ පවත්වන්න කියලයි. වාර්තාවට සති දෙකක් ගතවෙනවා කිව්වා. බවුසර්වලින් වතුර දෙන්න කිව්වා. කර්මාන්ත ශාලාව තාවකාලිකව සති දෙකක් වහන්න කිව්වා.

ජනතාව නිතර නිතර කර්මාන්ත ශාලාව වහන්න කියද්දී සති දෙක තුනක් යනකං මේ තීරණය ගන්න බැරිවුණා. තරුණයින් කිහිප දෙනෙක්ගේ ජීවිත අහිමි කරලා තමයි කර්මාන්ත ශාලාව වහන්න තීරණය ගත්තේ.

ඔළමොට්ටල ආණ්ඩුව කලින් තීන්දු ගත්තා නම් සිද්ධිය මේ තරම් බරපතළ වන්නේ නැහැ. ප‍්‍රදේශවාසීන්ට පානය සඳහා ජල ටැංකි 60ක් යොදවනවා කිව්වත් ලබාදුන්නේ ජල ටැංකි හතලිස් ගණනක් පමණයි.

පවුල් 5000ක් පමණ වන ජනතාවට බොන්න වතුර නැහැ. ආණ්ඩුව වගකීම පැහැර හැරියා. රතුපස්වල ජනතාවට බොන්න වතුර ටිකක් දෙන්නේ නැති ආණ්ඩුව උගන්ඩාවේ ජනතාවට වතුර දෙන්න මිලියන ගණන් ලබාදෙනවා. ආණ්ඩුවේ තීරණ නිසා අද ජනතාව මහ පාරට වැටිලා.

අද ප‍්‍රදේශ ගණනාවක ජනතාව අයිතීන් ඉල්ලමින් උද්ඝෝෂණ කරනවා. සමහර ප‍්‍රදේශවල අලි මිනිස් ගැටුම්. ජීවත් වීමේ සටනක නිරත වෙලා ඉන්නවා. හලාවත, ඉන්ධන සහනාධාර ඉල්ලපු ධීවරයින්ට වෙඩි තැබුවා.

විශ‍්‍රාම වැටුපක් ඉල්ලලා පාරට බැහැපු කම්කරුවන්ට වෙඩි තබා මරා දැම්මා. ආණ්ඩුවේ උත්තරය ජනතාවට වෙඩි තැබීමයි. ආරක්‍ෂක ලේකම්වරයාගේ විසඳුම වෙලා තිබෙන්නේ අයිතීන් ඉල්ලන ජනතාවට වෙඩි තබා මරා දැමීමද?

රතුපස්වල ජනතාව බලධාරීන් දැනුවත් කළත් ආණ්ඩුව බිහිරි අලින් වගේ හිටියා. පෞද්ගලික ආයතන මැදිහත් වුණා. අද ගම්පහ, වැලිවේරිය ශෝකාලාපයක් බවට පත්වෙලා.

රටේ ජනතාවට අපි කියනවා ආණ්ඩුව අයිතිවාසිකම් රිදී බන්දේසියක තියලා ලබාදෙන්නේ නැහැ. සති දෙකකින් පසු හෝ මේ ගැටලූවට සුළු හෝ විසඳුමක් ලැබුණේ මිනිස්සු පාරට බැහැලා සටන් කරපු නිසයි.

බලධාරීන්ගේ සුළු මැදිහත්වීමක් හෝ ලැබුණේ ජනතාව සටන් කරපු නිසයි. ආණ්ඩුවේ අසාර්ථකකම, බැරිකම වහගන්න සටන් කරන ජනතාවට මර්දනය කැඳවලා තිබෙනවා. වෙඩි තබා ඝාතනය කරනවා.

ඒ වගේම විශේෂයෙන් හමුදාවේ නිලධාරීන්ට අපි කියනවා මෙවැනි සිද්ධීන්ට කෙදිනක හෝ වන්දි ගෙවන්න, දඬුවම් ලබන්න සිදුවෙනවා. රූකාන්ත චන්ද්‍රලේඛා සිද්ධියෙන් වසර ගණනාවකට පස්සේ හිටපු ජනාධිපතිවරියගේ ආරක්‍ෂක නිලධාරින් පිරිසකට අද දඬුවම් ලබාදී තිබෙනවා.

දේශපාලනඥයින්ගේ වුවමනාවට ජනතාව විරෝධී තීන්දු ක‍්‍රියාත්මක කරන්න තුවක්කු පත්තු කරලා ඒ වැරදිවලට වන්දි ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ හමුදා නිලධාරීන්ටයි. ඒ නිසා අපි ඒ සිද්ධියට සම්බන්ධ වුණු ආරක්ෂක නිලධාරීන්ට කියනවා දේශපාලනඥයින්ගේ වැරදි නියෝග කි‍්‍රයාත්මක කරලා අනාගතයේදී වන්දි ගෙවන්න සූදානම් වෙන්න එපා කියලා.

ඒක ඔප්පු වෙලා තියෙනවා. දේශපාලකයින් දෙන ජනතා විරෝධී, වැරදි නියෝග පිළිපැදලා අන්තිමේදී අමාරුවේ වැටෙන්න සිදුවෙන්නේ ඔබටයි කියලා දුප්පත් අම්ම තාත්තගේ දරුවන් වන හමුදාවේ, පොලීසියේ නිලධාරීන්ට අපි මතක්කරනවා.

ඒ වගේම තවමත් රතුපස්වල ප‍්‍රදේශවාසී ජනතාවට මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ ඉතා බිහිසුණු තත්වයකටයි. ප‍්‍රදේශයේ අම්මලා තාත්තලාට, දූදරුවන්ට තමන්ගේ ඥාතීන් එනතුරු තවමත් මඟ බලාගෙන ඉන්නවා.

ඒ නිසා ආණ්ඩුවට අපි කියනවා එම ප‍්‍රදේශයේ සාමකාමී තත්වයක් ඇතිකරන්න කියලා. ඒ වගේම ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් වූ පානීය ජල අයිතිය ලබාදෙන්න කියලා ආණ්ඩුවට අවධාරණය කරනවා.

ජනතා විමුක්ති පෙරමුණ

2013.08.02