ෂවුකට්අලීට වහා ආරක්ෂාව සලසන්න - නවි පිල්ලේ

ෂවුකට්අලීට වහා ආරක්ෂාව සලසන්න - නවි පිල්ලේ

February 17, 2013   10:09 am

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදී ෆරාZස් ෂවුකට්අලීට ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා රජය වහාම පියවර ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවි පිල්ලේ මහත්මිය අවධාරණය කරයි.

බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍යවේදී ෆරාZස් ෂවුකට්අලී ඝාතනය කිරීමේ සැලැස්මක් එම ප්‍රහාරයෙන් හෙළිවන බැවින් ඔහුට වහාම ආරක්ෂාව සැලසිය යුතු බව ඇය පෙන්වාදෙයි.

52 හැවිරිදි වියේ පසුවන මාධ්‍යවේදී ෆරාZස් ෂවුකට්අලී බ්‍රිතාන්‍ය හා ලාංකේය පුරවැසිභාවය හිමි පුද්ගලයෙකි.

මෙම සිද්ධියත් සමග තමන් දැඩි ලෙස කැළඹුණු බවත් අදාළ මාධ්‍යවේදියා සේවය කර ඇත්තේ ලංකාවේ රජයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විවේචනාත්මක ලෙස අදහස් පළකරන පුවත්පතක බවත් නවි පිල්ලේ මහත්මිය පෙන්වාදෙයි.

විශේෂයෙන්ම තමා විසින් සොයාබලන නීතිමය සහ වගකිව යුතු කාරණා සම්බන්ධයෙන් අදාළ පුවත්පතින් තොරතුරු අනාවරණය කෙරෙන බවද ඇය කියයි.

ඒ අනුව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පටහැනිව සිදුවන පැහැර ගැනීම් හා නීති විරෝධි ඝාතන පිළිබඳව ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට යොමුකරන බව නවි පිල්ලේ මහත්මිය සඳහන් කරයි.

මාධ්‍යවේදී ෆරාZස් ෂවුකට්අලී මෙම සති අන්තයේ පළවීමට‍ තිබු පුවතක් ලියමින් සිටියදී ගල්කිස්සේ ඔහුට අයත් යැයි සැලකෙන නිවසේදී පෙරේදා මධ්‍යම රාත්‍රී නාදුනන පුද්ගලයින් තිදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි අනාවරණය විය.

එම ප්‍රහාරයෙන් ඔහුගේ ගෙල ප්‍රදේශයට තුවාල සිදුවී ඇති අතර කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඔහු පසුව මාරු කෙරිණ.

මේ අතර මාධ්‍යවේදී ෆරාZස් ෂවුකට්අලී මහතාට එල්ල වු වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය ද දැඩි කණස්සල්ල පළ කර තිබේ.

බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ඔහුට එල්ල වූ ප්‍රහාරය ගැන බරපතළ ලෙස කම්පනයට පත්වු බව දකුණු ආසියානු කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය අමාත්‍ය ඇලිස්ටෙයාර් බර්ට් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඒ අනුව මෙම සිද්ධිය පිටුපස සිටින පුද්ගලයින් වහා අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බව ඔහු අවධාරණය කර තිබේ.

ඉකුත් කාලයේදී ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහිව මෙවැනි සිද්ධීන් ගණනාවක් සිදුව ඇති බව පෙන්වාදෙන බර්ට් මහතා ඒ පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය ගැන සෑහීමට පත්විය නොහැකි බවද සඳහන් කර ඇත.

ඒ අනුව බ්‍රිතාන්‍ය මෙන්ම යුරෝපා සංගමය ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගත හැකි උපරිම පියවර ගත යුතු බව අවධාරණය කරන්නේ යැයි ඔහු පවසා තිබේ.

මේ අතර කොළඹ ජාතික රෝහලේ සිටින මාධ්‍යවේදී ෆරාZස් ෂවුකට්අලී මහතාගේ සුවදුක් බැලීමට බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යා‍ලයේ පිරිසක් ගොස් ඇතැයිද එකී නිවේදනය මගින් වැඩිදුරටත් දක්වා ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස්පතිවරයා නියෝග කර ඇති අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.