සුඛෝපභෝගී වාහන නඩුව ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

සුඛෝපභෝගී වාහන නඩුව ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

May 10, 2024   03:21 pm

අති සුඛෝපභෝගී BMW වර්ගයේ වාහන 1,728ක් තීරුබදු රහිත බලපත්‍ර යටතේ ආනයන කිරීමේදී රුපියල් බිලියන16ක බදු මුදලක් රජයට අහිමි කිරීම සම්බන්ධයෙන් යළිත් විධිමත් පරීක්ෂණයක් සිදුකරන්නැයි අභියාචනාධිකරණය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබේ.

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන සමාගම, විමර්ශන අත්හිටුවන නියෝගයක් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමට අදාළ නඩුව ඊයේ (09) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

අදාළ පෞද්ගලික සමාගම මඟින් 2011 සිට 2014  දක්වා කාලයේදී අති සුඛෝපභෝගී BMW වර්ගයේ වාහන 1,728ක් තීරු බදු රහිතව මෙරටට ආනයනය කර ඇති බව විගණකාධිපතිවරයා ඉකුත් 2016 වසරේදී අනාවරණ කර තිබිණි.

එහිදී හෙළිවුණේ, මෙම වාහන ආනයනයේදී රජයට රුපියල් බිලියන16ක පමණ බදු මුදලක් අහිමි වී ඇති බවය.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව විමර්ශනයක් සිදුකර එක් වාහනයකට රුපියල් ලක්ෂයක් බැගින් වූ දඩ මුදලක් අයකර ගැනීමට පියවර ගෙන තිබිණි.

අනතුරුව ශ්‍රී ලංකා රේගුව සිදුකළ ඉල්ලීම මත ජර්මානු රේගු බලධාරීන්ගෙන් ප්‍රශ්නගත වාහන ආනයනයට අදාළ වාර්තාවක් කැඳවා එය පදනම් කරගෙන නැවතත් විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගත්තේය.

එම අවස්ථාවේදී වාහන ආනයනය කළ පෞද්ගලික සමාගම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර විමර්ශන අත්හිටුවමින් නියෝගයක් ගෙන ඇත.

නඩුව යළි ඊයේ කැඳවූ අවස්ථාවේ පෙත්සමේ වගඋත්තරකරුවන් වන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්වීමක් සිදුකළේය.

එහිදී අවධාරණය කෙරුණේ, වාහන ආනයනය කිරීමේදී යම්කිසි බලපත්‍රලාභී සමාගමක් හෝ පාර්ශ්වයක් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට, වංචනික අයුරින් කටයුතු කර ඇති බව පසුව හෝ අනාවරණය වන්නේ නම් නැවත විධිමත් පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගැනීමට රේගු ආඥා පනතින් රේගු දෙපාර්තමේන්තුවට බලය ඇති බවය. 

පෙත්සම්කාර සමාගම වංචනික අයුරින් කටයුතු කර ඇති බව සාක්ෂි මඟින් පැහැදිලිවන බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. 

එම කරුණු දැක්වීම සහ ලේඛන සලකා බැලූ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල, අභියාචනාධිකරණය පෙර නිකුත් කර ඇති නියෝග බලරහිත කර ගාස්තුවට යටත්ව සමාගමේ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය.

ඒ අනුව වාහන ආනයන සිද්ධිය සම්බන්ධයෙන් යළිත් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස අභියාචනාධිකරණය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට මෙලෙස අවසර ලබාදී තිබේ.