සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදියාට වෙඩි ප්‍රහාරයක්

සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදියාට වෙඩි ප්‍රහාරයක්

February 16, 2013   01:28 am

සන්ඩේ ලීඩර් පුවත්පතේ මාධ්‍යවේදීයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ෆරාZස් ෂවුකට්අලී නැමැති මාධ්‍යවේදියාට මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබු ඔහු මේවන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

එම වෙඩි ප්‍රහාරය මොහුගේ ගෙල ප්‍රදේශයට වැදී ඇති බවත් කඩිනම් ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

ගල්කිස්ස හෝටල් පාරේ බාන්ස් ඇවනිව් හි පිහිටි එම මාධ්‍යවේදියාට අයත් නිවසේදී අද අලුයම 12.10ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

මේ අතර මූලික ප්‍රතිකාරවලින් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

මාධ්‍යවේදී ෆරාස් ෂවුකට්අලී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.

අද (16) උදෑසන වෛද්‍යවරුන් ඔහු තවදුරටත් පරීක්ෂා කොට ශල්‍යකර්මයක් සිදු කිරීම පිළිබඳ තීරණය කරනු ඇති බව ඔහු කියා සිටියේය.