මහ රැජිනගේ අභාවයට ලෝක නායකයින්ගේ ශෝකය

මහ රැජිනගේ අභාවයට ලෝක නායකයින්ගේ ශෝකය

September 9, 2022   11:10 am

ලෝක නායකයින් රැසක් දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවුඩ නිකුත් කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය රැජින බුද්ධියෙන් සියල්ලන් ආකර්ෂණය කළ නායිකාවක් වන අතර සෑම අවස්ථාවකම ඇයගේ ප්‍රඥාව සියල්ලන් සමග නොමසුරුව බෙදාගත් බවය.

හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ එලිසබෙත් මහ රැජින ලෝකය ආකර්ශනය කරගනු ලැබුවේ කරුණාව සහ වෙහෙස නොබලා වැඩ කිරීමේ ආචාර ධර්ම මගින් බවය. 

මේ අතර දෙවන එලිසබෙත් මහ රැජිනගේ මියයාම ලෝක දේශපාලනයේ පිරවිය නොහැකි හිස් තැනක් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසයි.

බ්‍රිතාන්‍යයේ නව රජු වන 3 වන චාර්ල්ස් කුමරුට පණිවුඩයක් නිකුත් කරමින් රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දෙවන එලිසබෙත් මහ රැජිනගේ මියයාම සම්බන්ධයෙන් රාජකීය පවුලේ සාමාජිකයින්ට සහ මහා බ්‍රිතාන්‍යයේ සමස්ත ජනතාවට සිය අවංක ශෝකය පිරිනමන බව රුසියානු ජනාධිපතිවරයා අදාළ පණිඩුඩයේ සඳහන් කර තිබේ.

තම යටත්වැසියන්ගේ ආදරය හා ගෞරවය මෙන්ම ලෝක වේදිකාවේ අධිකාරීත්වය නිවැරැදිව භුක්ති විඳි නායකාවක් ලෙස දෙවන එලිසබෙත් මහ රැජින හැදින්විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ද ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ප්‍රංශයේ මිතුරියක් වූ කාරුණික හදවතක් ඇති රැජිනක් ලොවට අහිමි වු බවය. 

බ්‍රිතාන්‍යයේ  දීර්ඝතම කාලයක් කිරුළ දැරූ 96 හැවිරිදි දෙවන එලිසබෙත් මහ රැජින ඊයේ (08) අභවප්‍රාප්ත වුණි.