වැලිවේරියේ ගැටුම- දැඩි සත්කාර ඒකකයේ සිටි තවත් අයෙක් මරුට- මරණ සංඛ්‍යාව 3ක් වෙයි

වැලිවේරියේ ගැටුම- දැඩි සත්කාර ඒකකයේ සිටි තවත් අයෙක් මරුට- මරණ සංඛ්‍යාව 3ක් වෙයි

August 4, 2013   01:58 pm

වැලිවේරියේ ගැටුමේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

වැලිවේරියේ පදිංචිකරුවෙකු බව කියන නිලන්ත පුෂ්පකුමාර නැමැති 29 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

ඒ අනුව මෙම සිද්ධියෙන් මිය ගිය ගණන 03 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ රාත්‍රී අවුරුදු 19ක තරුණයෙකු මියගොස් තිබු අතර ඔහු නැදුන්ගමුව පාර වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි රවිශාන් පෙරේරා ලෙස හඳුනාගෙන තිබේ.

ඔහුද ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

සිද්ධිය වූ දින අවුරුදු 17 ක පාසල් ළමයෙකු වන අකිල දිනේෂ් මියගොස් තිබූ අතර ඔහුගේ අවසන් කටයුතු අද වැලිවේරිය පොදු සුසාන භූමියේදී සිදුකිරිමට කටයුතු යොදා තිබේ.

බීමට පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරිය රතු පස්වල ජනතාව පසුගිය දින කිහිපයේදී දැක්වූ විරෝධතා අවසන් වූයේ ඉකුත් 01 වැනිදා එනම් බ්‍රහස්පතින්දා යුද හමුදාවද සමග ගැටීමෙන් අනතුරුවය.

වැලිවේරිය නගරයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණ කළ එකී ජනතාව ඉවත් කිරීමට යුද හමුදාව වෙඩි තැබූ බවට පාර්ශව ගණනාවක් මේවන විටත් චෝදනා කර තිබේ.

කෙසේ වෙතත් ආණ්ඩුව ප්‍රකාශ කළේ මෙම ගැටුම ඇති කිරීමට තෙවන පාර්ශවයක සහයක් ලැබුණු බවයි.

මේ අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් යුද හමුදාවට එල්ල වූ චෝදනාව ගැන පරීක්ෂණ පැවැත්වීම සඳහා යුද හමුදාපතිවරයා විසින් කමිටුවක් ද පත් කර ඇත.

කෙසේ වෙතත් අදාළ කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරීය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජලය දූෂණය කරන බවට ජනතාව චෝදනා කරන්නේ ඒ ගැන වැරදි වැටහීමකින් බවයි.

කෙසේ හෝ මෙම සිද්ධිය නිසා මේවන විට මිනිස් ජීවිත 3ක් රටට අහිමි වි ඇත.

තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාරයේ මෙන්ම රෝහල් කිහිපයකම ප්‍රතිකාර ලබමින් සිටිති.

මතබේදයට තුඩුදුන් කර්මාන්ත ශාලාවද තාවකාලිකව වසා දමා ඇත.