
ජාතික ජනබලවේගය විසින් පාලනය කරනු ලබන පොළොන්නරුව - හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධන පිරවුම් හලේ පෙට්රල් තොගයක් ඩීසල් ගබඩා කර තිබෙන ටැංකියට මාරු කර ගොඩබෑම හේතුවෙන් එහි ඉන්ධන සම්පූර්ණයෙන්ම අපතේ ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් අද (28) පෙරවරුවේ එහි පැමිණි ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.
ඒ අනුව ඩීසල් ඉන්ධන ටැංකියට මාරු කළ පෙට්රල් තොගය නැවතත් එම බවුසරයටම පටවාගෙන යළි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත රැගෙන ගොස් පරීක්ෂා කිරීමට ඔවුන් තීරණය කර ඇත.
කෙසේ වෙතත් පෙට්රල් ලීටර් දහසකට අධික ප්රමාණයක් ඩීසල් භූගත ටැංකියට ගොඩබා ඇති බවත් ඉන් විශාල පාඩුවක් සිදුව ඇති බව හිඟුරක්ගොඩ සමූපාකාර සමිතියේ හිටපු සභාපතිවරයා පෙන්වා දෙයි.
හිඟුරක්ගොඩ සමූපාකාර ඉන්ධන හලේ පාලන කටයුතු සිදු කරනු ලබන්නේ, ජාතික ජනබලවේගයේ නිලධාරි මණ්ඩලයක් විසිනි.
ඔවුන්ගේ අකාර්යක්ෂමතාවය සහ නිසි පරිදි ක්රියා නොකිරීම හේතුවෙන් විශාල පාඩුවක් සිදුව ඇති බව ද හිටපු සභාපතිවරයා චෝදනා කරයි.
අදාළ සමූපාකාර ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු ලෙස හිඟුරක්ගොඩ ප්රාදේශීය සභාවේ ජාතික ජනබලවේගය නියෝජනය කරන මන්ත්රීවරයෙක් කටයුතු කරන බව වැඩිදුරටත් සඳහන්ය.



















































