
වෑන් රථයක් පැහැරගෙන යමින් සිටි පිරිසකට ඇහැළියගොඩ, පරකඩුව අඟුරුවංගුව ප්රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අදාළ වෑන් රථය පැහැරගෙන යන බවට එහි හිමිකරු විසින් අද (28) පෙරවරුවේ අවිස්සාවෙල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය, ඒ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දැනුම්වත් කර ඇත.
එහිදී අදාළ නිලධාරීන් විසින් වෑන් රථය නතර කිරීමට කටයුතු කළද, එය නොනවත්වා ධාවනය කිරීමට සැකකරුවන් කටයුතු කර තිබේ.
එම අවස්ථාවේ වෑන් රථය පසුපස හඹාගිය පොලිසිය, එය ඇහැළියගොඩ පරකඩුව අඟරුවංගුව ප්රදේශයේදී නතර කරගැනීමට සමත්ව ඇත.
කෙසේවෙතත් අදාළ අවස්ථාවේ එක් සැකකරුවෙකු පළාගොස් ඇති අතර, තවත් සැකකරුවෙකු පොලිසියට පහරදී පලාළායාමට උත්සහ කර ඇති බව සඳහන්ය.
එහිදී පොලිසිය විසින් සැකකරු පාලනය කිරීම සදහා වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, ඉන් ඔහු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.
පලාගිය සැකකරු සොයා පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.















































