
රත්ගම, බූස්ස මලිදූව ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබියදී ඊයේ (26) සොයාගත් සිරුර, වැඩතහනමට ලක්ව සිටි යුද හමුදා ලුතිතන් කර්නල්වරයෙකුගේ බවට හඳුනාගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, ඔහු ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන කොමාන්ඩෝ සලින්ත නමැත්තාට ජීව උණ්ඩ විකිණීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිට ඉකුත් නොවැම්බර් 03 වැනිදා ඇප මත මුදාහැරුණු අයෙකු බවයි.
රත්ගම, බූස්ස මලිදූව ප්‍රදේශයේ චීන පිට්ටනිය යනුවෙන් හඳුන්වනු ලබන පාළු ඉඩමක තිබී වෙඩි තබා ඝාතනය කරන ලද පුද්ගල මළසිරුරක් පොලිසිය ඊයේ සොයාගෙන තිබුණි.
ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබුණේ, අදාළ පුද්ගලයා ගාල්ලේ පදිංචි නලින් තුෂාර ද සොයිසා නමැති වැඩතහනමට ලක්ව සිටින යුද හමුදා ලුතිතන් කර්නල්වරයෙකු බවයි.
ඔහු මල්ලාවි යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියදී, ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන කොමාන්ඩෝ සලින්තට ජීව උණ්ඩ 260ක් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2025 වසරේ සැප්තැම්බර් 11 වැනිදා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඉකුත් නොවැම්බර් 03 වැනිදා ඇප මත නිදහස්ව පැමිණ තිබේ.
පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ඔහු ඉකුත් 25 වැනිදා සවස මිතුරෙකු සමග ගොස් එම මිතුරාගේ කාර්මික දෝෂයකට ලක්ව තිබූ මෝටර් රථය අලුත්වැඩියා කර, පසුව ඔහු සමග මත්පැන් පානය කර ඇති බවයි.
අනතුරුව තවත් මිතුරෙකු සමග ගාල්ල මහමෝදර ප්‍රදේශයේදී මත්පැන් පානය කර ඇති ඔහු, එම මිතුරා සහ තවත් අයෙකු සමග ජීප් රථයකින් බූස්ස ප්‍රදේශයට පැමිණ තිබේ.
කෙසේ වෙතත්, ඔහු එම ස්ථානයෙන් බැස යෑමෙන් පසු සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව තමන් නොදන්නා බව ඔහුගේ මිතුරන් පොලිසියට පවසා ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයා බූස්ස ප්‍රදේශයෙන් බැසගත් ස්ථානයේ සිට මීටර් 100ක පමණ දුරින්දී නාඳුනන වෙඩික්කරුවකු විසින් පිස්තෝල අවියකින් වෙඩි තබා ඝාතනය කර තිබුණි.
පොලිසිය පැවසුවේ, එම පුද්ගලයාගේ හිසට වෙඩි පහර එල්ල වී ඇති බවයි.
මෙම ඝාතනය ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වය විසින් සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.











































