
සිය රාජකාරී ගිනිඅවිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වෙත ලබාදී වසර 2කට ආසන්න කාලයක් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි පොලිස් කොස්තාපල්, විමර්ශනවලදී කරුණු රැසක් අනාවරණය කර තිබේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා, ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අද (26) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුරය, පේමඩුව හැලඹගස්වැව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ජයකොඩි ආරච්චිගේ කවිඳු ආකාශ් ජයකොඩි නමැති ගල්කිස්ස පොලිසියට අනියුක්තව සේවයකළ පොලිස් කොස්තාපල්වරයෙක්ය.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකරු ඩුබායි රාජ්‍යයේ ගත කළ ජීවිතය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ඇත.
ඔහු පවසා ඇත්තේ තමන් එරට පිහිටි නිවාස සංකීර්ණයක් මිලදී ගෙන, එය කොටස් කර විවිධ පුද්ගලයන්ට කුලී පදනම මත ලබාදුන් බවය. ඊට අමතරව එරට කායවර්ධන මධ්‍යස්ථානයක අමතර රැකියාව නිරත වූ බවද ඔහු සඳහන් කර තිබේ.
කෙසේවෙතත්, තමන් ලබාදුන් රාජකාරී ගිනිඅවිය සම්බන්ධයෙන් ඔහු මෙතෙක් කිසිදු තොරතුරක් හෙළි කර නොමැත.
මෙම කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිසියේ මාර්ග බාධකයක රාජකාරී කරමින් සිටියදී අතුරුදන් වූයේ ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදීය.
විමර්ශනවලදී අනාවරණය වූයේ ඔහු සිය ටී-56 වර්ගයේ රාජකාරී ගිනිඅවිය ඩුබායිහි සැඟව සිටින 'ඉහළ ගැමුණුගේ දර්ශන' හෙවත් 'අයිඩී' නමැත්තාගේ සමීපතමයෙකුට ලබාදී ඩුබායි වෙත පලාගිය බවය.
පසුව අදාළ ගිනිඅවිය පොලිසිය විසින් සොයාගනු ලැබූ අතර, මෙරට පොලිසිය විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරුට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
එම රතු නිවේදනයට අනුව ඉකුත් ඔක්තෝබර් 29 වනදා ඥාතියෙකු රැගෙන යාමට ඩුබායි ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී එරට ආරක්ෂක අංශ ඔහුව අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කර තිබුණි.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.











































