
බ්‍රිතාන්‍යයේ සිට අප්‍රිකානු රාජ්‍යයකට පිටුවහල් කර සිටියදී සියදිවි නසාගත් ශ්‍රී ලාංකික පුරවැසියාව, පිටුවහල් කර ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට හෝ ජනතාවට හෙළි නොකළ රහසිගත ගිවිසුමක් යටතේ බවට තොරතුරු වාර්තා වේ.
බ්‍රිතාන්‍ය රජයට කිසිදු සම්බන්ධතාවක් නොමැති එස්වාටිනි ( පෙර ස්වාසිලන්තය) රාජ්‍යයට මෙලෙස අදාළ පුද්ගලයා පිටුවහල් කර ඇති බව BBC පුවත් සේවය සඳහන් කරයි.
දරුණු මානසික රෝගී තත්ත්වයකින් පෙළුණු සහ ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ 35 හැවිරිදි කිෂාන්ත් පෙරමාලියා නමැති මෙම පුද්ගලයා, එස්වාටිනි රාජ්‍යයට යවා මාස කිහිපයකට පසු සියදිවි හානිකරගෙන තිබුණි.
දෙරටේ රජයන් අතර ඇති කරගත් කෙටුම්පත් ගිවිසුමේ පිටපතක් BBC පුවත් සේවය වෙත ලැබී ඇති අතර, ඒ අනුව ඔහුගේ නැවත පදිංචි කිරීමේ වියදම් වසර තුනක් දක්වා දැරීමට බ්‍රිතාන්‍යය එකඟ වී ඇති බව සඳහන් වේ.
ඔහු මියයන විටත්, ඔහුට එරට ස්ථිරව පදිංචි වීමට අදාළ සැලසුම් බ්‍රිතාන්‍ය රජය විසින් අවසන් කරමින් තිබී ඇති බව BBC පුවත් සේවය පවසයි.
බ්‍රිතාන්‍ය රජය විසින් සරණාගතයෙකු මෙලෙස බලහත්කාරයෙන් වෙනත් රටක ස්ථිර පදිංචියට යැවූ ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් වේ.
2021 වසරේදී ඉන්දියාවේ සිට කැනඩාව බලා මුහුදු මාර්ගයෙන් ගමන් කරමින් සිටියදී බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව විසින් ඉන්දියන් සාගරයේදී පෙරමාලියා ඇතුළු ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් බේරාගෙන ඇත.
පසුව ඔවුන්ව බ්‍රිතාන්‍ය-අමෙරිකානු හමුදා කඳවුරක් පිහිටි 'දියේගෝ ගාර්ෂියා' (Diego Garcia) දූපතේ රඳවාතබා ඇත.
ඔවුන්ට නැවත ශ්‍රී ලංකාවට යාමට ආරක්ෂිත පරිසරයක් නොමැති බව පිළිගත් බ්‍රිතාන්‍ය බලධාරීන් ඔවුන්ට සරණාගත රැකවරණය ලබා දුන්නද, වසර තුනක් පුරා ඔවුන්ව එම දූපතේ නීතිවිරෝධී ලෙස රඳවාතබා ගත් බවට ද පසුව අධිකරණය තීන්දු කර ඇත.
ඔහු අධිකරණයේ දී පවසා ඇත්තේ යොවුන් වියේදී ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් අතින් වධහිංසාවට හා ලිංගික අපයෝජනයට ලක්වූ බවත් ඒ හේතුවෙන් තමන් දැඩි මානසික කම්පන තත්ත්වයකින් පෙළුණු බවත්ය.
දියෙගෝ ගාර්ෂියා දූපතේ රඳවා සිටියදී ඔහුගේ මානසික තත්ත්වය තවදුරටත් පිරිහී ගොස් ඇති අතර ඔහු කිහිප වතාවක් සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බව සඳහන් වේ.
එම කාලය තුළ පහරදීම්, ගිනි තැබීම් සහ ලිංගික අතවර චෝදනා හතරකට ද වරදකරු වූ ඔහුට සිරදඬුවම් ද නියම කර ඇත.
2024 දෙසැම්බර් මාසයේදී එම දූපතේ සිටි බොහෝ ශ්‍රී ලාංකික සරණාගතයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළු වීමට අවසර දුන්නද, පෙරමාලියාගේ අපරාධ වාර්තා හේතුවෙන් බ්‍රිතාන්‍ය අමාත්‍යවරු ඔහුව භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
පසුව 2026 පෙබරවාරි මාසයේදී ඉරානය සමඟ පැවති යුද්ධය වෙනුවෙන් අමෙරිකාව විසින් දියේගෝ ගාර්ෂියා කඳවුර භාවිත කිරීම ආරම්භ කිරීමත් සමඟ එහි සිටි අනවශ්‍ය පිරිස් ඉවත් කිරීමට පියවර ගැනුණි.
ඒ අනුව මාර්තු අගදී දින 30 ක කාලයක් සඳහා මාලදිවයිනට යැවුණු ඔහුව, ඉන් අනතුරුව අප්‍රිකාවේ එස්වාටිනි රාජ්‍යය වෙත පිටත් කර යවා ඇති බව සඳහන් වේ.
එරට හුදෙකලා නිවසක තනිවම රඳවා සිටි ඔහු දැඩි තනිකමකින් සහ මානසික පීඩනයකින් පසුවූ බවත්, දිනකට හතර වතාවක් පමණ තමන්ට දුරකථන ඇමතුම් ලබා දුන් බවත් ඉන්දියාවේ වෙසෙන ඔහුගේ සොහොයුරිය BBC පුවත් සේවයට පවසා ඇත.
ඔහුව ස්ථිරවම එරට පදිංචි කිරීමේ සැලැස්මක් පිළිබඳව තම පවුලේ කිසිවෙකු දැන නොසිටි බවද ඇය සඳහන් කර ඇත. පසුව පසුගිය සැප්තැම්බර් 13 වනදා ඔහු සියදිවි නසාගෙන තිබුණි.
මේ අතර, එස්වාටිනි රාජ්‍යයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් බ්‍රිතාන්‍යයට චෝදනා කරන්නේ, ලෝකයේ නොවිසඳුණු ගැටලු සහ අපරාධකරුවන් බැහැර කරන "කුණු ගොඩක්" ලෙස අප්‍රිකාව භාවිත කරන බවටය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, බ්‍රිතාන්‍ය මහජනතාවගේ ආරක්ෂාව තම ප්‍රමුඛතාවය බවත්, දරුණු ගණයේ විදේශීය අපරාධකරුවන් බ්‍රිතාන්‍යයට ඇතුළු වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ඕනෑම තීරණයක් ගැනීමට රජය කටයුතු කරන බවත්ය.








































