
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ව්‍යවස්ථාදායක කටයුතු අතරතුර සියලු දෙනා පුදුමයට හා සතුටට පත් කළ සුවිශේෂී සිදුවීමක් වාර්තා විය.
ඒ, ධුරයෙන් සමුගන්නා ලිබරල් පක්ෂ මන්ත්‍රී ජෝර්ඩන් ලේන් (Jordan Lane) සිය සමුගැනීමේ කතාව අතරතුර, දිගුකාලීන පෙම්වතිය වන නැටලි (Natalie) හට පාර්ලිමේන්තු සභා ගර්භය තුළදීම විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීමයි.
එළඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් පසු දේශපාලනයෙන් සමුගන්නා බව මීට සති දෙකකට පෙර නිවේදනය කළ රයිඩ් ආසනයේ මන්ත්‍රී ජෝර්ඩන් ලේන්, පාර්ලිමේන්තු සභා ගර්භයේ මධ්‍යම මේසය අසල සිට සිය සමුගැනීමේ දේශනය පවත්වමින් සිටියදී මෙම විස්මිත විවාහ යෝජනාව සිදු කළේය.
"කථානායකතුමනි, රයිඩ් ආසනයේ මන්ත්‍රීවරයා ලෙස මා අසන අවසන් ප්රශ්නය යොමු වන්නේ මගේ ආදරණීය නැටලි වෙතයි,"
යනුවෙන් සභාව අමතා පැවසූ ඔහු, විවාහ ගිවිස ගැනීමේ මුදුවක් පිටතට ගෙන දණ ගසමින් "ඔබ මාව විවාහ කර ගන්නවාද?" යනුවෙන් විමසා තිබේ. දශකයකට වැඩි කාලයක් ඔහුගේ පෙම්වතිය වූ නැටලි ඉමහත් සතුටින් එම යෝජනාව පිළිගෙන ඔහුව වැළඳ ගත් අතර, ඒ සමඟම මුළු පාර්ලිමේන්තු සභා ගර්භයම ප්‍රීති ඝෝෂා සහ අත්පොළසන් නාදයෙන් පිරී ගියේය.
අනතුරුව නැවතත් සිය අසුන වෙත පැමිණි මන්ත්‍රීවරයා, "ඇය 'ඔව්' යැයි පැවසූ බව හැන්සාඩ් (Hansard) වාර්තාවට ඇතුළත් කරන මෙන් මම ඉල්ලා සිටිනවා" යැයි හාස්‍යජනක ලෙස පවසමින් එම සුවිශේෂී අවස්ථාව නිල පාර්ලිමේන්තු වාර්තාවට ද එක් කිරීමට කටයුතු කළේය.
නිව් සවුත් වේල්ස් ව්‍යවස්ථාදායක සභාවේ කථානායක ග්‍රෙග් පයිපර් (Greg Piper) නව යුවළට සුබ පැතුම් එක් කරමින් කියා සිටියේ, 58 වැනි පාර්ලිමේන්තුව "ආදරයේ පාර්ලිමේන්තුව" (Parliament of Love) ලෙස ඉතිහාසයට එක්වනු ඇති බවය.
මේ වන විට මෙම සංවේදී මොහොත ඇතුළත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා වේගයෙන් සංසරණය වෙමින් පවතී.










































