
තම දරුවන් දෙදෙනා සමඟ මඩකළපුව කල්ලඩි පාලමෙන් කලපුවට පැන සියදිවි හානි කරගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු බේරාගැනීමට යතුරුපැදිකරුවෙකු සහ ධීවරයින් පිරිසක් සමත්ව තිබේ.
ඊයේ (23) රාත්‍රියේ සිදුවූ මෙම සිද්ධියට හේතු වී ඇත්තේ අදාළ පුද්ගලයාගේ බිරිඳ ව්‍යාජ විදේශ රැකියා ඒජන්සියකින් රැවටීමට ලක්වීම බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
නොච්චිමුනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහුගේ බිරිඳ රැකියාවක් සඳහා ඕමානයට ගොස් ඇති නමුත්, මේ දක්වා ඇයට රැකියාවක් ලැබී නොමැති බව වාර්තා වේ.
එමෙන්ම, ඇය කාමරයක රඳවා තබාගෙන වධහිංසාවලට ලක්කර ඇති බව ද සඳහන් වේ.
බිරිඳ බේරාගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වීම හේතුවෙන් ඇති වූ කලකිරීම මත මෙම තීරණය ගත් බව අදාළ පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කර තිබේ.
ඔහු දරුවන් දෙදෙනා ද සමඟ කල්ලඩි පාලමෙන් කලපුවට පැනීමට උත්සාහ කළ අවස්ථාවේ, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකු වහා මැදිහත් වී දරුවන් දෙදෙනා බේරාගෙන ඇත.
කෙසේ වෙතත්, කලපුවට පැන ඇති පුද්ගලයා එහි ධීවර කටයුතුවල නිරතව සිටි පිරිසක් විසින් ආරක්ෂිතව ගොඩට ගෙන තිබේ.
පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් දරුවන් දෙදෙනා සහ අදාළ පුද්ගලයා පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මඩකළපුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










































