
ගල්කිස්ස පොලීසියට අනුයුක්තව පොලිස් මාර්ග බාධකයක රාජකාරී කරමින් සිටියදී, සිය රාජකාරී ටී-56 ගිනිඅවිය සොරකම් කර, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වෙත ලබා දී, පසුව ඩුබායි වෙත පලා ගොස් සැඟවී සිටි ජයකොඩි ආරච්චිගේ කවිදු ආකාශ් ජයකොඩි නැමැත්තාව අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සහ ශ්රීලන්කන් ගුවන් සේවයේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවය.
අදාළ සැකකරුව අද (26) අලුයම අලුයම 05.20ට ශ්රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.
මොහු අනුරාධපුරය, පේමඩුව හැලඹගස්වැව ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ මොහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්රකාශ සටහන් කර ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට නියමිතය.










































