
ලන්දේසි පාලන සමයේ මහනුවර රාජධානියෙන් රැගෙන ගිය මෙරට අනන්‍ය වූ 'මහා තුවක්කු' (Rampartguns) ලෙසින් හැඳින්වෙන තුවක්කු 2ක් යළි මෙරටට භාරදීමට නෙදර්ලන්ත රජය තීරණය කර තිබේ.
වසර 250කට වැඩි අතීතයක් ඇති මෙම ඉපැරණි තුවක්කු එරට ජාතික කෞතුකාගාරය වන ඇම්ස්ටර්ඩෑම් හි 'Rijksmuseum'කෞතුකාගාරයේ තබා ඇත.
එම කෞතුකාගාරයේ පර්යේෂකයන් සහ මෙරට විද්වතුන් එක්ව සිදුකළ දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව මෙම පුරාවස්තු ශ්‍රී ලංකාවට අයත්බව තහවුරු කරගෙන ඇත.
එහිදී පර්යේෂකයන් මෙම තුවක්කු ශ්‍රී ලංකාවට අයත් 'මහා තුවක්කු' ලෙසින් හැඳින්වෙන බව හඳුනාගෙන තිබේ.
මෙම තුවක්කු 18 වන සියවසේදී නෙදර්ලන්තයට ගෙන ගොස් ඇති අතර, මීට පෙර 2023 වසරේදී ද ඔවුන් ඉපැරණි තුවක්කු 2ක් ශ්‍රී ලංකාවට යළි භාරදුන්නේය. එම තුවක්කුවලට සමානකමක් මෙම තුවක්කුවලද ඇති බව සඳහන්.
1765 වසරේ ලන්දේසි පෙරදිග පාලන සමයේ මහනුවර රාජධානිය අතර පැවැති යුද්ධයකදී මෙම තුවක්කු අත්පත් කරගන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඉන් එක් තුවක්කුවක මහනුවර පාලනය කළ රජුට සම්බන්ධ සටහන් ද ඇතුළත් බවද පර්යේෂකයන් පවසයි.
මෙම සංස්කෘතික උරුමයන් නැවත මෙරටට ගෙනඒමේ කටයුතු ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.












































