
HIV ආසාදනය වැළැක්වීම සඳහා නිපදවූ විප්ලවීය එන්නතක අඩු වියදම් (Generic) පළමු තොගය උගන්ඩාවට ලැබීමට නියමිතව ඇති අතර, එමඟින් රෝග ව්‍යාප්තිය වැඩිම අප්‍රිකානු කලාපය පුරා මෙම ඖෂධය ව්‍යාප්ත කිරීමේ නව බලාපොරොත්තු දැල්වී තිබේ.
ලෙනකපාවිර් (Lenacapavir) ලෙස හැඳින්වෙන මෙම ඖෂධයේ පළමු ගෝලීය තොගය ඊයේ (25) සැම්බියාවට ළඟා වූ බවත්, ඉදිරි දින කිහිපය තුළ උගන්ඩාවට එම තොග ලැබෙනු ඇති බවත් ගෝලීය අරමුදල (Global Fund) නිවේදනය කළේය. සිම්බාබ්වේ රාජ්‍යයට ලබන වසරේ මුල් භාගයේදී මෙම එන්නත් තොග ලැබීමට නියමිත අතර තවත් රටවල් කිහිපයකටම ඉන් පසුව ඒවා බෙදා හැරීමට සැලසුම් කර ඇත.
වසරකට දෙවරක් එන්නතක් ලෙස ලබා දෙන මෙම ඖෂධය, HIV ආසාදනය වැළැක්වීම සඳහා 100%කට ආසන්න සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.
මෙම අඩු වියදම් එන්නත සඳහා පුද්ගලයෙකුට වසරකට වැය වන්නේ ඇමෙරිකානු ඩොලර් 40ක් පමණි.
අමෙරිකානු ඖෂධ සමාගමක් වන ගිලියඩ් සයන්සස් (Gilead Sciences) විසින් නිපදවූ මෙහි මුල් ඖෂධය අමෙරිකාව තුළ වසරකට ඩොලර් 28,000ක් පමණ වූ බැවින් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට එය දැරිය නොහැකි මට්ටමක පැවතුණි.
HIV වෛරසයේ ආරක්ෂිත ප්‍රෝටීන් කවචය ඉලක්ක කර ගනිමින් වෛරසය ගුණනය වීම සහ ශරීරය තුළ ආසාදනයක් ඇති කිරීම මෙමඟින් අඩපණ කරයි.
2024 වසරේදී උගන්ඩාවේ සහ දකුණු අප්‍රිකාවේ නව යොවුන් වියේ ගැහැණු ළමුන් සහ තරුණ කාන්තාවන් 5,000කට අධික පිරිසක් යොදාගෙන සිදු කළ සුවිශේෂී සායනික පරීක්ෂණයකදී, මෙම එන්නත ලබා ගත් කිසිවෙකුට HIV ආසාදනය නොවූ බව තහවුරු විය.
දිනපතා ලබා ගත යුතු සහ සමාජ අපවාදයන්ට ලක්වීමේ අවදානමක් පවතින දැනට භාවිතා වන HIV නිවාරණ පෙතිවලට (PrEP) වඩා මෙම එන්නත විශාල වාසියක් සලසන බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) 2025 ජූලි මාසයේදී HIV නිවාරණය සඳහා මෙම ඖෂධය නිර්දේශ කළේය.
"අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ජනතාවට ඉතා ඵලදායී, ගුණාත්මක බවින් තහවුරු කළ HIV නිවාරණ ඖෂධ ලබා ගැනීමේ අවස්ථාව පෙර නොවූ විරූ ලෙස වේගවත් කිරීමක් සහ පුළුල් කිරීමක් මෙම බෙදාහැරීම් මඟින් සනිටුහන් කරනවා."
ගෝලීය අරමුදල (Global Fund)
ගෝලීය අරමුදලට අනුව මේ වන විටත් රටවල් 10ක පුද්ගලයින් 189,000කට අධික පිරිසක් මෙම එන්නත ලබාගෙන ඇත.
මේ වසර අවසන් වන විට රටවල් 24කට මෙම එන්නත ලබා දීමටත්, අමෙරිකානු රජය සමඟ එක්ව 2028 අවසන් වන විට අවම වශයෙන් පුද්ගලයින් මිලියන තුනකට එන්නත ලබා දීමටත් සැලසුම් කර තිබේ.
අවසානයේදී අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් 120ක මෙම ඖෂධය ලබා ගත හැකි වනු ඇත.
ගෝලීය වශයෙන් HIV සමඟ ජීවත් වන පුද්ගලයින්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් උප-සහාරා අප්‍රිකාවේ වෙසෙන අතර, නව යොවුන් වියේ ගැහැණු ළමුන් සහ තරුණ කාන්තාවන් ඉන් වැඩි වශයෙන් පීඩා විඳිති.
මිලියන අටකට ආසන්න පිරිසක් HIV ආසාදිතව සිටින දකුණු අප්‍රිකාවට ද මෙම අඩු වියදම් එන්නත ලැබීමට නියමිතය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව පසුගිය වසරේදී ලොව පුරා මිලියන 41ක් පමණ HIV සමඟ ජීවත් වූ අතර 570,000ක් HIV ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මිය ගොස් තිබේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ අමෙරිකානු විදේශ ආධාර කප්පාදු කිරීම හේතුවෙන් අප්‍රිකාවේ HIV මර්දන වැඩසටහන්වලට බාධා එල්ල විය හැකි බවට පවතින කනස්සල්ල මධ්‍යයේ මෙම නව එන්නත හඳුන්වා දීම සිදුවේ. 2030 වසර වන විට මහජන සෞඛ්‍ය තර්ජනයක් ලෙස පවතින ඒඩ්ස් (AIDS) රෝගය තුරන් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉලක්කයයි.












































