
නොවැම්බර් මස අස්වැසුම දීමනාව අද (27) ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
ඒ අනුව අන්ත දුප්පත් කාණ්ඩයට අයත් පවල් 381,369ක් සහ දුප්පත් කාණ්ඩයට අයත් පවුල් 635,761කට අයත් මුළු පවුල් 1,017,130කට මෙම දීමනාව අද දින හිමිවෙනු ඇත.
සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කර ඇත්තේ මේ සඳහා රුපියල් 12,142,055,250ක් වෙන්ව ඇති බවය.
එමෙන්ම පසුගිය සැප්තැම්බර් මස 08 වැනි දින අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ජනතාවගේ එදිනෙදා ජීවිතයට වන බලපෑම අවම කිරීම සඳහා හදිසි සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබුණි.
ඒ අනුව අන්ත දුප්පත් කාණ්ඩයේ මාසික අස්වැසුම දීමනාව වන රුපියල් 17,500ට අමතරව තවත් රුපියල් 3,000ක අතිරේක දීමනාවක් ද දුප්පත් කාණ්ඩයේ මාසික අස්වැසුම දීමනාව වන රුපියල් 10,000ට අමතරව රුපියල් 2,000ක අතිරේක දීමනාවක්ද මෙම මස ගෙවීමට කටයුතු කර තිබේ.
මේ වෙනුවෙන් රජය රුපියල් 2,415,629,000ක මුදලක් වෙන් කර ඇති බව සඳහන් කර ඇති සුබසාධක මණ්ඩලය සඳහන් කර ඇත්තේ මෙම හදිසි සහනාධාර දීමනාව මෙම මස සහ දෙසැම්බර් මස පමණක් ගෙවීමට කටයුතු කරන බවය.











































